ජටා-පීටර ට ආචාර්ය උපාධියක්

 ඒ 88/89 භීෂණ යුගයයි. එකල අව්වටත් පින්නටත් දෙකටම ජටා බැඳි පීටර නම් කුලෑටි, නූගත් ගැමියෙක් කඳුකර ගම්මානයක ජිවත් විය. මේ පුදුමාකාර ජටාව ඔහුගේ නම අගට එකතුව හේ නමින් "ජටා-පීටර" විය. මේ අතර ගම්මු අනෙක් පීටර ව "කළු-පීටර" කියා නම්කර "පීටර" අවුළ ලිහාගත්හ. හරියාකාර ව දෑතේ වැඩක් කරන්නට උනන්දු නොවූ  ජටා-පීටර ගෙන් කිසිවෙකුට ඒහැටි ප්‍රයෝජනයක් නොවීය. සමහර දිනවල මේසන් බාස්ලාට "අත්-වැඩ" දෙන්නට ඔහු අපේ අළුත හදන ගෙදර ට ආවේය. ලතාවට ගිරයෙන් පුවක් ගෙඩි සුද්දකර පෙතිවලට කපාදීම අගයකල "සිමියොං බාසුන්නහේ",  " මේ පුවක් කැපිල්ලට සම්මානයක් දෙන්න වටිනවා" යයි දවසක් අත්තම්මාට කීය. මට දැන් වැටහෙන පරිදි ඔහු අදහස් කලේ "සම්මාන ආචාර්ය උපාධියක්" වියයුතුය. කොටින් කියතොත් "ආචාර්ය ජටා-පීටර" නොහොත් Dr Jata-Pitara වැනි
අදහසකි.

මේ අතර ඔහු මා මහත් භීතියට පත්කරමින් "මහසෝනා" ගැන එක එක විකාර කතා හතර වරුවේම කිවේය. ඇත්තෙන්ම ඔහු කුඩා මා භීතියට පත්කලා නොව ඔහු ඒවා තමාටම කියාගනිමින් ඔහු හා මා භීතියට ද අනෙක්අය අමන්දානන්දයට ද පත්කළේය. ඔහු කියන පරිදි මහසෝනා පඩික්කම තුල පවා සිටියහැක. මහසෝනා ගේ ඔළුවට කෙල ගහනවාට මහසෝනා එච්චර කැමති වෙන එකක් නැත. අපි හැමවිටම "කල්පනාවෙන්" සිටිය යුතුය. "පීටර ඔය විකාර කියල පොඩිඑකා බයකරන්න එපා" ඒ අත්තම්මාගේ "තැටි වාදන යන්ත්‍රය" නිතර ගායනා කල ගීයයි. 
මේ අතර එක දිනක්‌ පීටර එක එක අතට නැමුනු කම්බි ඇණ ගොඩක් ළඟ උක්කුට්ටිකව ඉඳගෙන පැතලි ගල්ගෙඩියක් මත එක එක ඇණය තබා අඬුමිටියෙන් තලමින් ඇණ කෙලින් කරමින් උන්නේය. එය කලාවක්නම් පීටර එහි “පිකාසෝ” ය. කුඩා මම ඔහු කියන දේ අසමින් ඔහු ළඟ ඉඳගෙන සිටියෙමි. ඔහු බාසුන්නහේලාට සවන්දෙන අතර ම ඒවා විවේචනය කිරීම ද පහත් හඬින් දිගටම කරගෙන ගියේය. මම ඔහු කියනදේ එතරම් කල්පනාවට නොගත්තෙමි. පීටර මාමා ඇඟිල්ල තලාගෙන විලාප ගහනවා බලන්නට මට කිසිම වුවමනාවක් නොවූයෙන්, තැලෙන්නට තරම් යහපත් චරිතයක් ඇති ඇණ වරකට එකබැගින් ඔහුට තොරා දුනිමි.
හදිසියේම ඔහු ඇණ තැලීම නැවැත්විය. මගේ අවධානය ඔහුවෙත යොමුවිය. ඔහු මිටියේ හිසින් ගල්ගෙඩිය හූරමින් මා දෙස බලා මේ සේ කීය.
“හොරාට හොරා කියල නොකිව්වොත් ඌ ඒ වරද හදාගන්න දන්නේනෑ, කොරාට කොරා කියල කිව්වට ඌට එක හදාගන්න බෑ...එක උගේ වරද නෙවෙයි බලාඉන්න එවුන්ගේ නොතේරුම්කම”
That was the most simplest explanation distinguishing the difference between constructive criticism and discrimination. යමක් සරලව විස්තර කිරීමට නම් එය හොඳින්ම වටහා ගතඋතුය. ජටා-පීටර ට ආචාර්ය උපාධියක් ලැබිය යුතුය.

No comments:

Post a Comment