දරුවන්ගේ සිත් එගාර් ජෙලි පිරුණු නැවුම් පීට්‍රි දිසි වැන්න. කෙනෙකුට පෙනිසිලින් මෙන්ම අන්ත්රැක්ස් බැක්ටීරියා ද පහසුවෙන් ඒවායේ වවාගත හැක.
මේ අතර මොන්න-ලීසා සිතුවම ලෝකයේ ලස්සනම සිතුවමයැයි අප උගතයුත්තේ ඇයි දැයි මට කිසිසේත්ම සිතාගත නොහැකිවිය. මන්ද ඊටත්වඩා බොහෝ සිත්ගන්නාසුළු වර්ණවත් සිතුවම් පහල පංතිවල පාසල් අච්චුපොත්වල සුලභ විය. කෙසේවෙතත් අප ගුරුවරු හෝ වැඩිහිටියන් ගේ කට-පල්ලෙන්-හැළුණු ඕනෑම කෙල බිඳුවක් වැදගත් කරුණක් සේ සැලකීමට ඇබ්බැහි වී සිටියෙමු. කුඩුවලට පවා ඇබ්බැහිවීම යනු දඬුවම් ලැබියයුතු වරදක් නොවේ. එය වෙදකම් ලැබියයුතු අසනීපයකි. කෙටියෙන් කිවහොත් අප අපේ ඇබ්බැහියෙන් අසාද්‍යව සිටියෙමු ඒ රෝගය අපේ සමාජයේ කෙතරම් ව්‍යාකූල කලාදැයි කිවහොත් නිරෝගීන් පවා බලහත්කාරයෙන් රෝගය වර්ධනය කරගත්හ. අපි ගුරුවරුන්ගේ අදහස් වලට එරෙහිව කතා කල මිතුරන්ට නම් පටබැන්දෙමු, දෝෂාරෝපණය කළෙමු, ගුටි-බැට දුනිමු. ගුරුවරුන් මෙන්ම අනෙකුත් වැඩිහිටියන්ද කුඩා අප ස්වභාවයෙන්ම දුර්වල-අමු-මැට්ටන් රැලක් සේ සැලකූහ. අභියෝගයක් වූ හෝ වෙතැයි සැකකළ විට සංවාද විසංවාද වී ඉක්මනින්ම ගුටිමුර බවට පත්වීම සුලභ විය.
මගේ පාසල් කාලය මගේ ජීවිතයේ අප්‍රසන්නම කාලයයි. පරතෙර නොපෙනෙන මහා වනාන්තරයක මත්ගතියකින් ඔහේ ඇවිදගියෙමි. මා වටා අරටුව දිරූ මහා ගස් ය. ඒවා අතුපතර විහිදවා විසාල භූතයන් සේ මා නිරතුරුව භීතියට පත්කලෝය. සමහර ගස්වල කොතරම් දැඩිව පිළිල වැවී තිබුනිදැයි කිවහොත් බොහෝවිට පිළිලය මහගස ලෙස වරදවා හඳුනා ගතිමි. අඳුරු තෙත් පරිසරයේ මා මගේ හෙවනැල්ලක් කිසිදෙනෙක නොදුටුවෙමි. හෙවනැල්ලක් දැකීමම ආලෝකය ඇතිබවට ප්‍රත්‍යක්ෂයකි! මදුරුවන් මගේ සෙවනැල්ල මෙන් මා වටා නිරන්තරයෙන් ගැවසුණහ. විටෙක ලේ උරාබිව් ඔවුන් නිරන්තරයෙන් දෙසවන් අතර ... හරියටම මොළයේ මැද ... බල්ලෙකුගේ උඩුබුරලීමට සමාන සියුම් කාලකන්ණි අදෝනාවක් අතිකළහ. විටෙක මට තිරිසන් සතෙක් හමුවෙයි, ඔවුන් විවිධාකාරය...සමහරු මගහරිති ...සමහරු ඔවුන්ගේ ගඳගහන කටවල්වලින් පිඹිති-ගොරවති...සමහරු ඔවුන්ගේ පුදුමාකාර ලෙස සුමටව සැකසී ඇති පුළුන් කොට්ටා වැනි ලොම් පිරුණු අත් වලින් දැළිපිහි වැනි උල්ණිය මතුකරගෙන මගේ මුහුණ සූරති...
![]() |
| 'Django Unchained' the movie by Quentin Tarantino |
කෙසේවෙතත් කිසිවෙකු අර ගමකතාවක එන පරිදි මගේ කනෙන් කැබැල්ලක් කඩාගෙන නොකෑහ, ඔවුන් කෑවේ මගේ හදවතේ කුඩා කැබලි ය. සමහරවිට ඒවා රසවත් වෙන්නට ඇත. මේ අතර විටෙක මට ඇටඹ ගසක් හෝ හැඹිල්ල ගසක් හමුවේ මා ඉන් කුසගින්න නිවාගනිමි. තැන තැන මඩකඩිති මෙන්ම සිසිල් දියඋල්පත්ය දිය පවස නිවාගැනීමට සුදුසු තැන පරෙස්සමෙන් තෝරාගත යුතුය. කලාතුරකින් හමුවූවද හමුවූ පළතුරු ගස් ද සිසිල් දිය උල්පත්ද කෘතඥපුර්වකව මෙනෙහිකරමි. මගේ චාරිකාව Quentin Tarantino ගේ චිත්‍රපටයක් වැන්න. අප හැම කෙනෙකුටම තමන්ගේම කියා කියන්නට කතාවක් ඇත. මෙය තවත් එක් කතාවක් පමණි.
එගාර් ජෙලි = Agar jelly
පීට්‍රි දිසි = Petri dishes
පෙනිසිලින් = Penicillin
අන්ත්රැක්ස් = Anthrax
කරුණක් = fact

No comments:
Post a Comment