අද මූසල බදාදාය. ගොඩනැගිලි මැද ඇති කුඩා දික්-හතරැස් පිට්ටනියේ පාසලේ උදේ රැස්වීම පවත්වන දිනයයි. හයියෙන් කෑගසා පන්සිල් ගැනීමත්, අව්වේ කරවෙමින් පින්සිබල් ගේ කරච්චලයට සවන්දීමත් අපටත් අපේ ආදරණිය ගුරු මව් වරුන්ටත් පිය වරුන්ටත් වදදෙන දිනයයි. පින්සිබල්ට පිටුපසින් ගුරු-වැට ගැසූ විට අපට ඔවුන්ගේ මුනත්තහඩු හොඳින් පෙනෙන්නේය. දිනකට අතේ ඇඟිලි ගානටවත් ගුරුවරුන් නොදකින අපි බදාදාට සියගණනක පෙරහැරක් දකිමු. හැමෝම එකවගේ පාණ්ඩු පාටය, මූනේ ලේ පොදක් වත් නැත. අද ඔවුන්ට හොරා-පොලිස් ඔට්ටු නැත. අපෙන් ද පින්සිබල්ගෙන්ද හැංගෙන්නට බැරිය. ඉස්සර කෙනෙක් දෙන්නෙක් කැන්ටිමේ පිටිපස්ස කාමරේ, පුස්තකාලයේ හෝ කොහේ හෝ හැංඟීමට පුරුදුව සිටියහ. මේ පින්සිබල් එක්ක ඒවා හරියන්නේද නැත.
වැටේ දකුණු කෙලවරේ ම හිටවා ඇති මිටි කළු ඉන්න යනු සවුක්ක මිස්ය. ඇය ගෙම්බාගේ පරම සතුරාවේ. ඇය ගෙම්බාගේ කබ, කඳුළු, හොටු, හා සුවඳ ගැන වුවමනාවට වඩා සැලකිල්ලක් දැක්වීම ගෙම්බාට අල්ලන්නේ නැත. සාමාන්‍ය ගේ ගෙම්බෙකුට වඩා අපේ ගෙම්බා පිරිසිදුය. ඔය කියන තරම් ඌ ගඳ නැත. බුදුන් වදින වෙලාවේ පටන් අපේ ගෙම්බා මගේ ඉලඇට වලට වැලමිටින් අනින්නේ කවුක්ක මිස්ගේ පැමිණීම නොහොත් උගේ අවාසනාව මගේ කණේ තැබීමට විය උතුය. ගෙම්බාගේ සවුක්කය මොකවුනත් ඌ සවුක්ක විසයට මට වඩා ලකුණු පහක් ඇත, ඌට තිස්එකකි. අද පළවෙනි පීරියඩ් එකම සවුක්කයයි. අද දවසම මුසල ය.
සවුක්ක මිස් පංතියට ආ ගමන් අපට පිටුපස හරවාගත්තාය. එහාට මෙහාට තාලයට පැද්දෙමින් “ආහාර ජීර්ණ පද්ධතිය” කියා රූපයක් කළුලෑල්ලේ ඇන්දාය. අප අමන්දානන්දයට පත්කරමින් ඇය රතු සහ නිල් පාටට අමතරව දම් පාටෙන්ද ඇන්දාය. අපි කිසිදාක කළු සුදු හැර වෙන පාටක් ඇති බව සිහිනයකවත් නොදැක්කෙමු. මිනිස් හිසක් කියා දෙයක් මුදුනින්ම ඇඳි ඈ පසුව තවත් දේ පසුව ඇන්දාය. අවසානයේ මහා අන්ත්‍රය අඳින්නට ලෑල්ලේ තවත් ඉඩ ඉතුරු නොවූයෙන් කුඩා අන්ත්‍රයේ කෙලවර මුදු ඇඟිල්ලෙන් මකා ඇඟිලි පුරුක් දෙකක් පමණ දිගට කුඩා අන්ත්‍රයේ අග මහා අන්ත්‍රය බවට වැඩිදියුණු කලාය. නිර්භීතව ඊට පහලින් බිත්තියේ ඇඟිල්ලක පරතරය ඇති ඉරි දෙකක් පහලට ඇඳි ඈ අප දෙස හැරී;
“ගුදය” යැයි කීවාය. පසුව ලෑල්ලේ දකුණු උඩ කෙලවරේ ඉඩ ඇති තැනක් සොයා එසේ ලීවාය.
අපි වෙනදා මෙන් මෙදිනත් මහත් භීතියෙන් ගල් ගැසී මේ සියල්ල බලා සිටියෙමු. මේ මිස් එක්ක සෙල්ලම් හරියන්නේ නැත. ඇය මහ වසය. ඊළඟ පීරියඩ් එකේ සිංහල මිස් අද නැති බව ඈ දැන උන්නාය. විසාල අල ගෙඩියක් මෙන් ගුරු පුටුවේ ඒ මේ අත පැද්දෙමින් දිග පොතක මොනවාදෝ ලියමින් ඈ ඊ ළඟ පීරියඩ් එකේ දී ද අපේ නිදහස විනාස කලාය. ඒ අතර අපි එකිනෙකා “ආහාර ජීර්ණ පද්ධතිය” ලෙස විවිධාකාර බලි විකාර පිටපත් කර ගත්තෙමු. මිස් බිත්තියේ ඇඳි කොටස ගැන අපි ගැඹුරින් කල්පනා කළෙමු. “හිකි-හිකි” හා “බුකු- බුකු” ගාමින් අපි එකිනෙකා ඒ ගැන “කුටු-කුටු” ගෑවෙමු. එහි අරුත පැහැදිලිවම වටහාගත් අපි හිරිකිතයෙන් පොතේ ලියාගතිමු.“අද මිස් ට මොනවා වෙලාද දන්නෑ නේද බං” තලපයා කෙඳිරීය.
“එකනේ බං, අද ගෙම්බට වත් මොනවත් කිව්වේ නෑනේ” මම පෙරළා කෙඳිරුවෙමි.
කෙසේ වෙතත් ඇය අපිට “ගෙදර-වැඩ” දුන්නාය. ගිය සතියේ ඉගැන්වූ “සම-බල අහාර” පාඩම අම්මාට අවධාරණය කළ උතුය .අම්මා පාඩම ඉගෙනගෙන ලබන බදාදා උදේ ට අපට සමබල ආහාර සපයනු ඇත. ඒ මදිවාට ඉස්කෝලේ දි දවල්ට කෑමට ඔතා දෙනු ඇත. ගෙදර වැඩේ නම් අම්මා දෙන බත්පතේ ඇත්තේ අහවල් දේ දැයි බදාදා උදේම ලියාගෙන පොත “මතක ඇතිව” අරගෙන ඒමයි. අමතකවුනොත් ඈ වෙනමම “පාඩමක්” එදාට උගන්වනු ඇත.
සාමාන්‍යයෙන් අත්තම්මා අපේ අම්මාට කුස්සිය පැත්ත පළාතේ එන්න දෙන්නේ නැත. මැණිකක් රකින නා රජෙකු සේ ඈ කුස්සිය රකින්නී ය. කුස්සිය ඇයට මැණිකකි. ඇය අපේ අම්මාට කොහෙත්ම කුස්සිය “විනාස කරන්නට” ඉඩ දෙන්නේ නැත. අත්තම්මා ට අවශ්‍ය දේ ඇය උයයි. ඒවා නරක නැත. අප ඒවා කෑ යුතුමය. වෙන පිලියමක් නැත. “මම මේ දඟලන්නේ උඹලව ලොකු මහත් කරන්නනේ” ඇය නිතර කියයි. ඇයට “එක-එකාගේ” “එව්වාගෙන්-මෙව්වාගෙන්” වැඩක් නැති අතර ඇය දන්නා දේවල් “ඔය එකෙක්වත්” දන්නේද නැත. ඇය අපේ ලොක්කා ය. අපි හැමෝම ඇයට අයිති අතර ඇය අපිට දැඩිව ආදරේය. මම කීයටවත් ඇයට “සමබල” ගැන කියන්නට යන්නේ නැත. අන්තිමේදි අත්තම්මා “සම-බල” ඉගෙන ගැනීම කෙසේවෙතත් මට හැඳි මිටෙන් “සම-බර” වෙන්නට දෙනු ඇත. අම්මාට කීවාට ද මෙලෝ වැඩක් වෙන එකක් නැත. මට කොහොමටත් ගෙදර වැඩේ අමතකවුනේ නැත. ගෙදර ගියගමන් සවුක්කය පොතේ පිටු හතරක් පෙරලූ මම මිස්ගේ සම-බල ආහාර පාඩම සොයාගතිමි. එය ආධාර කරගෙන ලබන බදාදා උදේ ආහාර වේල සකස් කලෙමි. කුකුල් මස්, බිත්තර, යකඩ බහුල නිවිති, හාල්මැස්සන් ආදී දේ සමග රූල් පහළොවක් පමණ දිගට කෙසේ හෝ “බැලන්ස් එකක්” ගැසුවෙමි. ලිස්ට් එකෙන් කුකුල් මස් සහ බිත්තර ඉවත්කර තුනපහ, ලුණු, පොල්තෙල් හා ලාම්පුතෙල් එක්කළේ නම් අම්මා සතියට බඩු ගෙනෙන්නට “ගුනේරිස් මුදලාලිගේ” කඩේට යනවිට මේ පිටුව ඉරාගෙන යනු ඇත.
ඊ ළඟ බදාදා
මම සද්ද නැතිව බදාදා උදේ ඉස්කෝලේ ගියෙමි. ගෙදර-වැඩ ගැන හැමෝටම මතක් වෙන්නේ උදේ රැස්වීමේදී සවුක්කය මිස් දැක්කාමය. රැස්වීමෙන් පසු අපි සාමාන්‍යයෙන් අවස්ථාවක් ලැබුණු වහාම පේලි කඩාගෙන පංතියට දිව්වෙමු. බොහෝවිට ඒ ගෙදර වැඩ කරන්නටය. ඒ සුන්දර බදාදා උදේම “චොර-චොර” ගාමින් මහා වැසි ඇදහැලුනේය. කුඩ ඇත්තන්ද නැත්තන්ද එකසේ තෙමුනෝය. අපි මඩකරියන් මෙන් හීතලේ ගැහෙමින් පන්ති වලට රිංගා ගතිමු. අද රැස්වීම නැත. පරම සුන්දරත්වය යනු බදාදා උදේ ට රැස්වීම නැතිවීමයි. සීනුව නාදවිය. අපි පන්ති කාමරයේම හිටගෙන බුදුන් වඳින්නට පටන්ගතිමු. අද කෑගසන්නට උවමනාවක් නැත. මේ අතර “කොප්පයාට” ගෙදර-වැඩ මතක්විය. ඌ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව “බිත්තරයාගේ” පොත පැහැරගෙන උගේ “උදෑසන ආහාරවේල” කොපිකරන්නට පටන්ගත්තේය. “කොපිගැසීම” කලාවකි. කොප්පයා බුද්ධිමත්ය. කොප්පයා කිසි දිනක කොපිගසා මාට්ටු වී නැත. එයින් ඌ හැමවිටම අපේ විශ්වාසය දිනාගත්තේය.
අපි හැමෝම ඌට නිදහසේ කොපිගසන්නට ඉඩ හැරියෙමු. ඌ කිසි දෙයක් චොර කරගන්නේ් නැත. සවුක්කය ගෙදර-වැඩ වැඩි දෙනෙකුට මතක්වී ඇත්තේ අද උදේය. වෙන එකක් තියා සකුන්තලා ට පවා ඒක මතක නැතිවෙලාය. මම අහිංසකකමට ඇය දෙස බලා සිටියෙමි. ඇය වම් අතින් පොහොට්ටු බාගය හදාගෙන බුදුන් වඳින ගමන් දකුණින් කොපිගසයි. වරින් වර කටද ඇදකරයි. ඒ වාක්‍යයේ අවසානයේ වියයුතුය. බලා ඉන්නම වටින දර්ශනයකි, මහා විකාරයකි. හදිසියේම ඇය මා දෙස හැරී “යනවා යන්න” යැයි කීවාය. මා කල වරද කුමක්ද? මම කොහේ කියා යන්නද?අපි හැමෝම පිළිවෙලකට සවුක්කය ගෙදර-වැඩ සම්පුර්ණ කරගතිමු. පැය කාලක් පමණ පංතිය වටා සංසරණය වුනු බොහෝ පොත්පත් නැවත ගමනාරම්භයා කරා ලඟාවූවෝය.
“චිටිස්-චිටිස්” ගාමින් පංතියට ආවේ සවුක්කය මිස්ය. තෙමිච්ච කුකුලෙක් ගානට ඇය තෙතබරි වෙලාය. අද තේජස අඩුවෙලාය. රැස් විහිදෙන්නේ නැත. පීරියඩ් එකෙන් බාගයක් දැනටමත් ගතවෙලාය. “කිසි-කිසි” ගා සාරිය ගසමින් ඇය වැහි වතුරත් මඩත් ඉවත් කිරීමට තැත්කලාය.පංතියට දෙස බලා අමුතුවට විරිත්තතූ ඈ “හරි හිරිකිතයි නේ?” යැයි පළවෙනි පේලියේ මැද සිටි “රෝහිණී” ගෙන් ඇසුවාය. අපි ඒ ගැන මිස්ට වඩා හොඳින් දැන සිටියෙමු. අද මිස්ගේ හැසිරීම පුදුමාකාර ලෙස වෙනස් වෙලාය. ඇයට හැමදේම මෙන්ම ගිය සතියේ දුන් ගෙදර-වැඩ ද අමතක වෙලාය. කොටින් කියතොත් ඇය “දියෙන් ගොඩ දැමූ මසෙකු මෙන්” හැසිරුනාය. ඒ අතර රෝහිණී ට ගෙදර-වැඩ මතක්වෙලාය. කා ලවා හෝ කොල්ලන්ට තැලවීමෙන් ඇය පුදුමාකාර ආශ්වාදයක් ලබන්නීය. අද මිස්ට උගන්වන්නට කොහෙත්ම උවමනාවක් නැති පාටය.
එහෙනං “එක එක්කෙනා නැගිටලා තම තමන් කෑමට ගෙනාවේ මොනවද කියලා කියන්න කෝ” , “හා, ගුණසිංහ ගෙන් පටන්ගන්න” මිස් කටහඬ අවදි කලාය.
අද හැමදේම සිද්දවන්නේ නුහුරටය. අප පරිස්සම් විය යුතුය. “ගුණසිංහ” යනු සරත්ගේ තාත්තාය. සරත්ගේ නමේ ගුණසිංහ කෑල්ලක් නැත. සරත්ගේ පියා ගුරුවරයෙකි. “අපේ අප්පච්චියි මේ මිසුයි එක ඉස්ටාප් එකේ හිටියලු” සරත් පෙර පැවසූ කරුණක් මම මෙනෙහි කලෙමි.
හැමෝමවාගේ පාපොච්චාරණයට සහභාගී වූහ. මගහැරුනේ මේසය යට රිංගාගෙන “බෙහෙත්-තලේ” සොයමින් සිටි “මීයා” පමණි. මිස් එය දුටුවද ගණන් නොගත්තේය. මේ කියන විදිහට හැමෝම වෑන්ජන හය-හතක මාළු-පිණි සමග දිවා ආහාරය ගෙනත් තිබේ. මිස්ගේ පාඩම ටක්කෙටම වැඩකර තිබේ. මගේ ලිස්ට් එක ගැන මිස් අවන්කවම පැහැදුනාය. සම්පකාරේ මැනිජර වන අපේ තාත්තා ට එවන් දේ තුන්වේලටම කෑ හැකි බව ඇය අදහන්නට ඇත. මේ අතර මම පොත්බෑගය තුල තිබූ බතල වැන්ජනය, රතුළුණු සම්බෝලය සහ රටහාල් බත් ගැන යටිසිතින් කම්පාවටත් ලැජ්ජාවටත් පත්වීමි. සමහරුන්ගේ කෑමවේල් තවත් අයගේ කෑමවේල් සමග පුදුමාකරලෙස ටක්කෙටම ගැලපුනේය. අපි වැඩි කරදරයක් නැතිවම පීරියඩ් එක ගතකර ගත්තෙමු.
විවේකය පැමිණෙන තුරු අපි ඇඟිලි ගැන්නෙමු. අද හැමෝටම, කලින් බඩගිනි වෙලාය. අපි ටැප් එකට නොගොස් වැහි පිල්ල හිල්වුණු තැනකින් බේරෙන වැහිවතුරෙන් අත් තෙමා ගතිමු. කෑමට පෙර දකුණු අත වතුරින් තෙමා ගැනීම අපේ සම්ප්‍රදායයි. “රත්නේ” තමන්ගේ සුපුරුදු “මාරි හතර” ගෙනල්ලාය. වෙනදා හතරට අද ඇත්තේ තුනකි කලින් පීරියඩ් එකේ හපමින් ඉඳ ඇත්තේ අනෙක් මාරිය වියයුතුය. ජෑම් ගාපු පාන්, බටර් ගාපු පාන්, මාරි, ගල් බනිස්, ඉස්කිරිඤ්ඤා, බටර් ඉස්කෝතු, ඇඟිලි ඉස්කෝතු ආදි දේ එකිනෙකාගේ සුපුරුදු ආහාර වේ. අද කියා ඒවායේ කිසි වෙනසක් නැත. අත්තම්මා උදේ හතරට නැගිටගෙන මට හැමදාම තම්බා දෙන බත්පත ගැන මම තනියම ආඩම්බර වීමි. හැමදාම බත්කන මම ගැන මම පළමු වතාවට අතිශයින් සතුටු වීමි. බත් කටවල් තුන හතරක් කටේ දමාගත් මං ඉතුරුවා මාරි කෑල්ලකට ද, පාන් ලෙල්ලකට ද හුවමාරු කර ගතිමි. මේ වෙලඳාමෙන් අපි තිදෙනාම මහත් තෘප්තියට පත්වීමු. බත් පෙට්ටියද පියනද ආයෙත් අමුතුවෙන් හෝදන්නට වුවමනාවක් වෙන එකක් නැත.
පාසැල අවසන් වෙන්නට මොහොතකට කලින් වැස්ස පෑවුවේය. වැහි වතුරට සේදී ආ බොරළු කැට වලට පයින් ගසමින්ද කුඩා වතුර වළවල් වලට පනිමින්ද මම ගෙදර බලා ගාටන්නට වීමි. අද උදේ පටන් මහා කාලකන්ණි හැඟීමකින් මගේ හදවත වැසී ගොසිනි. අද කෙනෙක්ගේ බත් පත ගැනවත් විශ්වාස කරන්නට බෑ නේදැයි මම සිතුවෙමි. අපි මොනවගේ බොරුකාරයන් රැලක් දැයි මම කල්පනා කලෙමි. මිස්ලාද අපිවගේ හිටපු කාලයක් තියෙන්නට ඇත. එහෙම බලනවිට මිස් උගන්වන දේත් අමුම බොරු වෙන්න බැරිකමක් නෑ නේදැයි මට සිතිනි.
“අද කාලෙ කිසිකෙනෙක් විස්වාස කොරන්ට බෑ, නෝනේ” සිමියොන් බාසුන්නහේ ඊයේ හැන්දෑවේ අපේ අම්මාට කියන්නට ඇත්තේ මේ ගැන විය යුතුය. මම කල්පනාවට වැටුනෙමි. මුදලාලි කියන විදිහට නම් ඔහු “බක-පණ්ඩිතයෙකි”. සිංහල මිස් කියන විදිහට “පණ්ඩිතයා” යනු බොහෝ ඇසු-පිරූ තැන් ඇත්තෙකි. “ඔය සිමියොන් බාසුන්නහේ නොදන්නා කෙහෙම්මලක් නෑ නේ අයියේ, හැම එකකටම හොට දානවා” දවසක් පොඩිමාමා “කරස්-කරස්” ගාමින් පුවක්ගෙඩියක් සුද්දකරමින් අප්පච්චිට කීවේය. “මල්ලි ඕකට ඔයහැටි නොරොක් වෙන්න ඕන කමක් නෑ” අම්මා පොඩි මාමා සැනසුවාය. මගේ කල්පනාව අවසානයේ “මේ ලෝකේ සත පහක දෙයක් විස්වාස කරන්න බෑ” කියා තීරණය කරනවිට මම ගෙදර ළඟටම ඇවිල්ලා ය.
සද්ද නොකර ගේ ඇතුලට රිංගාගත් මම “ඩොක්” ගා කුස්සියේ උස බංකුව උඩට පොත් බෑගය ගැලවීමි. එතකොටම අත්තම්මා රම්පෙ කොලයක් සහ කරපිංචා ඉති දෙකක් රැගෙන බාග-දොර ඇරගෙන කුස්සියට ආවාය. ටොමියා එලියට එලවා දැමූ ඇය දොර බාගේ වැසුවාය.
“ පුතේ උඹ තෙමුනද?” අත්තම්මා මගෙන් ඇසුවාය. “නෑ” දබර ඇඟිල්ලෙන් බංකුවේ රවුම් අඳිමින් ඈ දෙස නොබලාම මම උත්තර දුනිමි. “අක්ක කිව්වේ උඹ තෙමුන කියලා, මම බයේ හිටියේ උඹට හෙම්බිරිස්සාව හැදිලා ඇති කියලා” අත්තම්මා කීවාය. මම කිසිත් නොකීමි. “මෙකි දුවගෙන ඇවිල්ලා මේක තමයි අත්තම්මාගේ කණේ තියලා තියන්නේ” මම තනිව කල්පනා කලෙමි. “මම කොයිකටත් කියලා කොත්තමල්ලි ටිකක් තැම්බුවා” අත්තම්මා කීවාය. අද රෑට මට අමුර්ථය වළඳන්නට සිද්දවන්නේ අක්කා හින්දා ය. අමුර්ථය දෙවියන්ගේ ආහාරයයි. කොත්තමල්ලි බල්ලෙකුට කටේ තියන්නට බැරිය. මට අත්තම්මා තම්බන්නට කොහෙත්ම බැරිය. වැඩේ අතේ පත්තුවිය. අත්තම්මා අඩසියවසක කාලයකටත් වඩා හොඳින් තැම්බී තිබේ.
පෙඟුණු පොත් බෑගයෙන් බත්පෙට්ටිය ඉවතට ගත් ඇය “පුතේ කවදාවත් නැතිව අද ඔක්කොම කෑවද?” කියා ඇසුවාය. “ඔව්” මම යලිත් තනි වචනයෙන් උත්තර දෙන ගමන් රවුමේ ඉතිරි කොටස සම්පුර්ණ කලෙමි.
ඈ මා දෙසට නැමුනාය. මගේ හිස උණුසුම්ව බදාගත්තාය “මගේ සුදු අම්ම, පොඩි කාලේ උඹලගේ අපුච්චත් ඔහොම්මම තමයි” ඇය කීවාය.
මට යකා නැංගේය “ අත්තම්ම කියන්නේ පුංචි කාලේ අපේ අප්පච්චිත් බොරුකාරයෙක් කියලද?” මම කේන්තියෙන් ඇසීමි.
“නෑ බං, හුරතලේ !” අත්තම්මා “සුන්දරව”හිනැහෙමින් උත්තර දුන්නාය.
මට කටඋත්තර නැති විය. ඒ “විසේස” හිනාවේ අරුත මම නිවැරදිවම වටහාගත්තෙමි.
No comments:
Post a Comment