අලි

ඒ වියළි කලාපයේ එක් කොණකි, වලවේ ගඟට හැතැම්ම තුන-හතරකටත් මෑතින් පිහිටි ඒ ගම නිරතුරුව නියඟයෙන්ද වාලෙන්-පාලෙන්  ඇදවැටුණු වැස්සට පසුව ඇතිවන මැලේරියා වසංගතයෙන්ද බැටකෑවේය. වලවේ ගඟේ මහත් ජල කඳක් නිදහසේ ගලා ගියද ගම්මු කිසිවෙක් ඉන් සරණක් නොලද්දාහ. වැහිදියෙන් පමණක් පිහිටක් ලබන වැව් කලාතුරකින් පිරීගිය අතර ගොවිතැනට ඒවායින් එතරම් පිටිවහලක් නොවිය. සමහර දිනෙක වල් අලි ගම්වැදුනාහ. තැනින්-තැන අපිළිවෙලට කුඹුරු වතු-පිටි වටා සවිකළ විදුළි වැටවල්, වැව,  සහ ගම්මානයට මැදිවූ වල්  අලි, යන-එන මං හොයාගන්නට බැරිව වතු-පිටි වලට ගාල් වී සැඟවුණහ. විටෙක ගම් මැද්දෑවේ අතරමංවූ  අසරණ අලියෙක් දෙන්නෙක්  ගැමියන් සීනෙකුදු නොසිතන-නොපතන තැන්වල සැඟවුනහ.

කිසියම් කාරණාවකට වැව ලඟට පැමිණි තනි අලියා, ආණ්ඩුවෙන් වැව වටා එලා ඇති විදුලි වැටේ ඇතිල්ලිනි. ඉක්බිතිව හේ මහත් වේදනාවතත් කෝපයටත් පත්ව වැව් කණ්ඩිය පාවුලෙන් ගුණතිලකගේ කුඹුරට පිළිපන්නේය. කීන ගසේ තනා ඇති පැල මත්තේ සිට මේ සියල්ල බලා සිටි ගුණේ  පුරුදු පරිදිම ලන්තෑරුමත් හුළුඅත්තත් උරුක්කරගෙන තමාගේ අවධානය බලාපොරොත්තු වනබව වටහාගත් අලියා වහ-වහා ඒ  දෙසට දිවගියේය. අලියාට වඩා බොහෝ උසින් තැනූ පැලට  අලියාට කොහෙත්ම අනතුරක්  කරන්නට නොහැකිබව අලියා ප්‍රත්‍යක්ෂකරගත් අතර, ඊළඟ නිමේෂයේ දී ගොවියන් තම තමන්ගේ ප්‍රත්‍යක්ෂයන්ගේ තරම අවබෝධ කරගත්තේ හිසෙන් අනිමින් කීන ගස සොලවන අලියා දුටු විටය.

සෙලවීම දරාගත නොහැකිවූ පැල ගුණේ මාමා සමඟ ගසෙන් රූටා ගැලවී අඩි තිහ-හතළිහක් පහළ ගල්තල්ල මතට පතබෑවිනි!. පැලේ  ලී කොටන් අතරට  හසුව චප්පවීගිය ඔහුගේ සිරුර පසුදා පහන් වනතුරු අලියා විසින් මුරකලේය. රාත්‍රිය පුරා  ගැමියන් අලියා එළවීමට වෙරදැරුවද ඒ සියළු උත්සාහයන් මුළුමනින්  අසාර්ථක විය, නමුත් හිමිදිරියේ කාටත් නොකියාම අලියා වැව් කණ්ඩිය දිගේ ඇවිද ගොස්  වැව ඉස්මත්තෙන් කැලෑකුට්ටිය තුළට අතුරුදහන්වී තිබිණි. මළගෙදරට පැමිණි බොහෝ දෙනා ගුණේ මාමාව චප්ප නොකිරීම සම්බන්ධයෙන්  අලියාට විශේෂයෙන් කෘතඥතාව පළකළහ.

ඊළඟ මාසයේ දී , කොල්ලන් කුරුට්ටන් ගම්මැද්දෑවේ සිට හමුවූ කෙනරක් (අලිදෙනක්) සහ පැටියෙක් වැව පැත්තට පන්නනට පටන්ගත්හ. අලි වෙඩිවලින් බියටපත්ව ඉබාගාතේ දිවයන අලිදෙනට මූණටම  මුනිච්චිවූයේ  වැන්දඹුවක වූ සේකරලාගේ අම්මා ය. පැටියාට පෙර දිවගිය අලිදෙන මහළු කත බඳින් අල්ලා පොලවේ ගැසුවාය, ඉක්බිතිව විසුණුවීගිය දේහය හොඬින් ගෙන ඉදිරී වැටුණු සිඹලා ගසක වැරෙන් ගසා ඈ  පැටියා සමඟ නොපෙනී ගියාය. පොලවේ ගැසීමෙන්ද සියගණනක්  මුල් කැබළි වලට පසාරු වීමෙන්ද බෙහෙවින් විරූපවූ  ඒ සිරුර දුටු සමහර ගැමියන්  සිහිසුන් වූහ. සියඹලා මුලේත් අවටත් බොහෝසේ විසිරී තිබුණු අතුනුබහන් දුටු ගැමියන් මෙවර පෙර මෙන් අලිදෙනට විශේෂ කෘතඥතාවක් නොපෑ නමුත්, අලින් කෙරෙහි භීතියෙන් විශේෂ භක්තියක් ඇතිකරගත්හ.

කව්දෝ වල් සතුන්ට බැඳි මරුවැලක පැටලීමෙන් සේකරගේ පියාට වෙඩි වැදුනේ ඔහු කුඩා කාලයේදීම ය. බොහෝසේ තුවාල ලබා ඔත්පලවී බොහෝ වේදනාවෙන් සෙමෙන් මියයන පියා දෙස කුඩා සේකර බලා සිටියේ මහත් භීතියෙනි. මෙවර සියඹලා මුලේ එල්ලී සිටින මවගේ දේහය තබා මළගෙදර වසාඇති දෙණ තිබෙන ලෑලි පෙට්ටිය බැලීමටවත් ඔහු ගමට නොආවේය. ගැමියන් පණිවිඩ පිට පණිවිඩ යැව්වද හද්දවසේ දානයටවත් ඔහුගේ සහභාගිත්වයක් නොවිය. අගනුවර පෙදරේරු රැකියාවක් කල, අතමිට යමක් කමක් තිබුණු ඔහු ගැන ගැමියන් මෙන්ම පංසලේ හාමුදුරුවන් පවා මහත් අප්පිරියාවෙන් කතා-බහ කළහ.

දින දෙක තුනක් ගෙවී යන්නටත් මත්තෙන් සේකර තම හිතවතුන් දෙදෙනෙක් හා රියදුරෙක් සමඟ ගමට ආවේ පරණ තාලේ අවමඟුල්රියකිනි. 'මිනිහ  පහුගිය ටිකේ මොකක්හරි දේකට අප්සට් එකේලු  ඉඳල තියෙන්නෙ!' රියදුරා ගැමියන්ට කීය. 'මෝඩ වැඩක්' කරගෙන තිබූ සේකරගේ සිරුර ගැමියන් යලි  කිසිදාක නොදිටීය. වසා සීල් තබා ඇති ලී පෙට්ටියතුල සේකර ඇතැයි විශ්වාසකල  ගැමියන් පසුදා සවස ඔහුගේ කටයුතු අවසන් කළහ. 'කරුමෙ, ගෙනාපු ආයුස ඔච්චරයි' ගැමියන් කීහ.


(2020 මාර්තු)

No comments:

Post a Comment