
ඒ කාලේ ඒ පන්තියේ අනික් කෙලවරේ රවුම් යකඩ මේසයක් තිබුනා. එක වටේ තියපු එකකට එකක් නොගැලපෙන බංකු හතරක, තුනේ පන්තියේ හිටපු “බිත්තරයා” සහ “පිස්සි” මැද මම හිටියා “බුද්ධිමත් තාරක” කෙලවරේ හිටියා. පිස්සි සහ බිත්තරයා නිතර සන්ඩු කළා. මැද හිටි මම ඔය කොයි එකකටවත් හාක් හූක් ගාන්න ගියේ නෑ. පිස්සි බිත්තරයාගේ හිසේ හැඩය ගැන කරදර වුනු අතර බිත්තරයා පිස්සිගේ අසාමාන්‍යය පිස්සුව සනීප කරන ආකාරය නිතර සාකච්චවාවට ගත්තා. ගැටුම් අතරට මැදිවුන මම නිතර ගුටි කෑවා.
අපේ කකුල් අතර ජීවත්වුණේ ටීචර්ගේ දුඹුරුපාට බලුපැටියා. ඌ බිත්තරයාගෙන් පරිස්සම්වුනු අතර පිස්සිට කිට්ටුව ජීවත්වුණා. කුක්කාත් පිස්සිත් අතර පුදුමාකාර ලෙන්ගතුකමක් තිබුනා. මැක්කන් නලියන කුක්කා පිස්සිට මෙතරම් ලොකුවුනේ ඇයිදැයි මම තනියම කල්පනා කලා. පිස්සී මට වඩා සෑහෙන්න උස නිසා මම කුක්කාට වැඩිය වදදෙන්න ගියේ නෑ. ගෙදරදි දුසිම් බාගයක් බලුකුක්කන් ඇසුරුකළ මට කුක්කාත් පිස්සිත් ඇසුරු කිරීම කොහෙත්ම මහ දෙයක් වුනේ නෑ. අපි හැමදාම ටීචර්ට ඕන හැඩයට ඉංග්‍රීසි අකුරු ඇන්දා. අභියෝගයකට කියල තිබුනෙ සතියකට වතාවක් ඩික්ශේටන් අභ්‍යාසයට වෙට්ටුව දැමීම පමණයි. සෝ එක ඇරුනාම අපිට ලොකු කොල්ලෝ කොහෙත්ම කරදරයක් වුනේ නෑ. අක්කලා ට එවුන් පෙනෙන්නට බැරිවුණත් අක්කලා අපට බොහොම ආදරය කළා.
මහපාර අද්දර ටීචර්ගේ ගෙදර ඉස්තෝප්පුවේ තිබිච්ච පන්තියට ඤංඤුං අංකල් ඇරුනාම පිටස්තර කවුරුවත් ආවේ නෑ. “ඤං-ඤුං අංකල්” කතාකරන කිසිදෙයක් කාටවත් තේරුනේ නෑ. ඉතින් අපි ඒකනේ එහෙම කියන්නේ. අපි එයාට මූනට කිව්වේ “අංකල්” කියලා “ඤං-ඤුං” කිව්වේ නැති තැන. ඉස්තෝප්පුවට උඩම පඩියට දකුණෙන් තිබුණු මාළු ටැංකියේ කකුලක බලුපැටියා කොහුලණු කෑල්ලකින් ගැටගහල තිබුනා. බල්ලා බත් කෑවෙත් ඉංග්‍රීසි පත්තර උඩ. ඌ එච්චරටම ඉංග්‍රීසි. වමෙන් ටීචර්ගේ මේසේ. ඊට එහායින් අක්කලා. ඊට පස්සේ අර කොල්ලෝ ටික.
දවසක්දා පුදුමාකාර දෙයක් සිද්දවුනා. උස හීන්දෑරි තොප්පියක් දාපු මනුස්සෙක් බෑක් එකකුත් අරගෙන අපි දිහාවට එනවා දැකපු බුද්ධිමත් තාරක, එක මට සජීවීව විස්තර කළා. බිත්තරයාත් පිස්සිත් අතර ගැටුම උත්සන්නවෙලා තිබුණු නිසාත්, සිද්දියට පිටුපා හිටපු නිසාත් ඔවුන් ඒ වගක් වත් දැක්කේ නෑ. පිළිවෙලක් නැති කලිසමක්, කමිසයක් සහ කබල් සපත්තු ඇඳගෙන හිටපු ඒ මනුස්සයා ඉස්තෝප්පුවේ පඩි තුනෙන් දෙකක්ම නැග්ගා. එතන නැවතුනා. පංතිය දිහා බැලුවා. ඊටපස්සේ තොප්පිය ගලවලා කිහිල්ලේ ගහගත්තා. පිස්සී ත්, මම ත්, බිත්තරයා ත් බෙල්ල අඹරවාගෙන ඔහු දෙස බලා සිටියා. ඊළඟ තත්පරේදි ඔහු ඉංග්‍රීසියෙන් අපේ ටීචර්ට ආචාර කළා.
“ගුඩ් ආෆ්ටනූන් මිස්ටර් ගෝමස්” අපේ ටීචර් උත්තර බැන්දා.
ඊට පස්සේ ඔහු ඒ-මේ අත බලමින් මොනවදෝ තනියෙන් කුටු කුටු ගෑවා. බලුපැටියා පිස්සිගේ කකුල් අතර දැවටෙමින් හිටියා. ආ...එහෙනං මෙයා තමයි “පිස්සු ගෝමස්”. කව්දෝ කියපු කතාවක් මම එතැනට ගැලපුවා. පිස්සා එකවරටම වම්පැත්තට නැමිලා බල්ලාගේ බත්පත දමා තිබුණු පරණ පත්තර කොලේ ඇදල ගත්තා. “සට-සට” ගාල දකුණු කලිසම් කකුලේ ගසා ගෙන කියවන්න තැනක් පාදගත්තා. ඊට පස්සේ නහය පත්තර කොලේ ගෑවෙන තරමට ලංකරගෙන ඉංග්‍රීසියෙන් කියවගෙන කියවගෙන ගියා. අපට මෙලෝ දෙයක් තේරුනේ නෑ. පසුව පිස්සා පත්තර කෑල්ල විසිකර දැම්මා. වතුර, බත්ඇට ,සහ බලුවැඩ හින්දා තෙමිල තිබුණු පත්තර කෑල්ල රොකට් එකක් වගේ ගිහින් මාළු ටැංකියේ හැපිල බිමට වැටුනා.
“ඉගෙනගන්න නං මේකත් ඇති ” ඔහු කැඩිච්ච සිංහලෙන් කිව්වා.
“ගුඩ් බායි මිසිස් පෙරේරා!” ඔහු අපේ ටීචර්ට සුභ පැතුවා.
“සස්” ගා තොප්පිය ආයෙත් දාගත්තා, ඔහු යන්න ගියා.
No comments:
Post a Comment