රන්කැටි පුතා

ඔන්න ඉස්සර කාලෙක කොබෙයි පවුලක් වන්නන්තරයක් අද්දර, විසාල ගල් තලාවක් ළඟ තිබුණු මැරිච්ච නුග ගහක කූඩුවක ජීවත්වුණා. එයාලට එකම එක පැටියෙක් හිටියා. එයා ලඟදි තමයි බිත්තරෙන් එලියට ආවෙ, ඇස් ඇරලා නමුත් තවම පිහාටු ඇවිත් නෑ, ඉගිලෙන්න තව බොහොම කල් යනවා.

වැහිකාලේ හොඳටම ලංවෙලා. කොබෙයි අම්මයි තාත්තයි හොඳටම මහන්සිවෙලා කෑම හොයනවා, නමුත් නියඟ කාලේ කෑම හොයන්න හරිම අමාරුයි. දවසක්දා කොබෙයි දෙමාල්ලන්ට මී ගහක් යට වැටිලා තිබිච්ච මී මල් ටිකක් හම්බවුනා. එයාලට හරිම සතුටුයි. ඉතින් ඒවා ගෙදර ගෙනත් කුඩුව ළඟ තිබුණු ගල් තලාව උඩ අව්වේ වේලෙන්න දැම්මා. එයාලගේ කොබෙයි පැටියට ඒවා බලාගන්න කියල ආයෙත් කෑම හොයන්න දෙන්නම පිටත් වුණා.


හවස් වෙලා කොබෙයි අම්මයි තාත්තයි හොඳටම මහන්සිවෙලා ගෙදර ආවා. එනකොටම එයාල වේලෙන්න දාපු මී මල් ගල උඩ නැති බව දැක්කා. එයාලට හොඳටම කේන්ති ගියා. පැටියා මී මල් බලාගෙන නැති බව දැනගෙන පැටියට හොඳම කෙටුවා...පැටියා කුඩුවෙන් ගල් තලාවට ඇදගෙන වැටුනා...පැටියා මැරුණා.
මොහොතකින් අහස දෙදරුවා. බොහොම කාලයක් පැවතිච්ච නියඟය අවසන් කරමින් මහා වරුසාවක් ඇද වැටුනා. වරුවක මහා වැස්සකට පස්සේ මුළු වනාන්තරයම අලුත් පණක් ලැබුවා. හැන්දෑවේ මළහිරු වැස්සෙන් පස්සේ පැහැදිලි වෙච්ච අහසේ කෙලවරට ආවා. ඒ වෙනතුරු එකට ගුලිවෙලා හිටපු කොබෙයි අම්මයි තාත්තයි නැවත වතාවක් තමන්ගේ පැටියාගේ මළකඳ දිහා බැලුවා. වැහිවතුරට පෙඟිච්ච, මී මල් වලින් පැටියාගේ මළකඳ වැහිල ගිහින් තිබුනා. කොබෙයි අම්මයි තාත්තයි දැනගත්තා මී මල් හොඳටම වේලිලා ගල් තලා වටම ඇලිලා නොපෙනී ගිහින් තිබුනා මිසක් නැතිවෙලා තිබුනේ නෑ කියලා.

වැස්සෙන් පස්සේ එයාලට මී මල් ලැබුනා, නමුත් එයාලට ආයෙත් එයාලගේ පුතා ලැබෙන්නේ නෑ. ඉතින් පුබ්බෝරු පැටියා මළ සෝකෙන් කොබෙයි අම්මයි තාත්තයි මෙන්න මෙහෙම අඬන්න පටන්ගත්තා.

“මී පුප් ලදිම්...දරු නොලදිම්...රන්කැටි පුතා...කෝ...කෝ...”

එදා ඉඳල අද වෙනතුරුත්, එයාල  ඒ විදිහටම  පුබ්බෝරු පැටියා මළ සෝකෙන් අඬ අඬා හැමතැනම යනවා.

No comments:

Post a Comment