කුණු කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීම හෙවත් මළ මිනිසෙකුට පණ දීම


යමක් සිහියෙන් කිරීම ම භාවනාවක් බව මා කුඩා කල අසා ඇත්තෙමි. කීමත් කිරීමත් එකක් නොව දෙකක් බව අත්දැකීමෙන් දනිමි. යමක් අනුන්ට දේශනා කිරීමත් තමන් විසින් ඉටුකිරීමත් අඩු වැඩියෙන් ‘වැද්දන් දෙසන බණ වැනි !’.  අනුන් ගැන තේරුම් ගැනීමට වඩා තමන් ගැනම තේරුම් ගැනීම අගනා බව බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ලු!

ටික කලකට පෙර විසාල කුණු කන්දක් නිසා බොහෝ පිරිසක් විපතට පත්වූහ. එය  එවකට රටේ විශාල ම ප්‍රවුර්ති වලින් එකක් බවටද පත්විය. දැන් බොහෝදෙනා මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්ධය. මා කිසිදාක මේ කුණු කන්ද දැක නැති නමුත් තැන තැන පළවූ කුණු කතා හේතුවෙන් සිදුවී ඇත්තේ කුමක්දැයි තේරුම් ගැනීමට උත්සාහ කලෙමි. සමහරු බොහෝ අවාසනාවන්ත ඉරණම වලට මුහුණ දී සිටියහ, සමහරු එකිනෙකාට අවලාද නගමින් වගකීමෙන් මිදීමටත් අනෙකාට වරද පැටවීමටත් උත්සාහ කළහ. අනතුර නිසා සිදුවූ ජිවිත සහ දේපල හානියත්, ඊට හේතුභූතවූ කොළඹ කුණු ඉවත් කිරීමේ ව්‍යාපාරයත්, එයින් ප්‍රතිලාභ ලබන පිරිසත්, ලබන ලාභයත් සලකා බැලූකළ නොබෝකලකින් සියල්ල කාලයේ වැලිතලාවෙන් මොනවට වැසීයන බව කිසිවෙකුට තේරුම් ගැනීමට අපහසු නොවේ යැයි සිතමි. රටේ සිටි හා සිටින පළමු පුරවැසියන් ගේ පටන් සියලු වගකියයුත්තෝ කිසි හිරිකිතයකින් තොරව සාමුහිකව සහ   කලාත්මකව සම්පුර්ණ සිද්ධියම අපුරුවට දියකර හැරියහ.

එදා  “politics is more difficult than physics.” යැයි Albert Einstein පැවසුවේ ලු. අද “every science is political” යන්න තේරුම් ගැනීම වයසින්, අත්දැකීමෙන්, සහ දැණුමෙන් මුහුකුරා ගොස් ඇති අපට තේරුම් ගැනීමට එතරම් අපහසු නොවේ. දේශපාලනයේදී තමන් රැකෙන්නේ කෙසේද  යන කාරනාව මත පමණක් දේශපාලනයේ යෙදෙන්නන්ගේ  කතාවත් ක්‍රියාවත් රඳාපවතී. නිරපේක්ෂ සාධාරණය කියා දෙයක් මෙලොව නොපවතියි. එසේ පැවතියේ නම් කොටින් මුවන් මරා කන්නේ කෙසේද?. ලෝකය එක් එක් ජීවියා තම පැවැත්මට දරණ උත්සාහය නැමති ක්‍රියාකාරකම් මත පදනම් වන අතර යම් ක්‍රියාවක සාධාරණය - අසාධාරණය මත පදනම් නොවේ. සාධාරණය-අසාධාරණය, සමාජ සම්මත වරද-නිවරද, ආගම අනුව තීරණය කරන වරද-නිවරද (උදා. පින් -පව්), රටේ සම්මත නීතියට අනුව තීරණය කරන නිත්‍යානුකුල-නීතියට පටහැණි බව , සහ කෙනෙකු තමන්ගේ හදවතට එකඟව තීරණය කරන සාධාරණය - අසාධාරණය එකිනෙකට වෙනස් සමහර අවස්ථාවලදී එකිනෙකට පටහැණි හැඟීම්ය.

Breaker Morant”(1980) චිත්‍රපටයේ Major J. F. Thomas නැමති චරිතය යුධ අධිකරණයකදී චුදිතයා වෙනුවෙන් පෙනීසිටිමින් තම අවසාන කිරීමේ දේශනාවේදී “Soldiers at war are not to be judged by civilian rules...” යැයි ද “The barbarities of war are seldom committed by abnormal men...” යැයි ද සඳහන් කරයි. පාලකයින් ශිෂ්ට සම්පන්න වූයේ කවදා සිටද? පාලකයින් ශිෂ්ට සම්පන්න වියයුතු යැයි අප විස්වාස කරන්නේ ඇයි? ඔවුන් ශිෂ්ට සම්පන්න වියයුත්තේ ඇයි? ශිෂ්ට සම්පන්න පාලකයින්ට අපි “ආසා” කරනමුත් එපමණින් අපට ඔවුන්ගේ පැවැත්ම ස්ථාවර කල හැකිද?  අපේ රටේ රාවණාගේ ඉතිහාසයේ සිට වර්තමානය දක්වා වූ පාලකයින් ද, වෙනත් ඕනෑම ශිෂ්ට සම්පන්නවූයේ යැයි පිළිගත් ශිෂ්ටාචාරවල බිහිවූ පාලකයින් ද, වර්තමානයේ ජීවත්වන පාලකයින්ද හුදෙක් තම පැවැත්ම සඳහාම කෙතරම් අශිෂ්ට සම්පන්නව හැසිරී සහ හැසිරෙමින් තිබේද? දේශපාලකයින් සටන්කරන්නේ අසම්මත සටන් බිමක අසම්මත අවි ආයුධ වලිනි ඒනිසා ම  ඔවුන්ට අසම්මත සටන්ක්‍රම ද ඇත. ඒවා අසම්මත හා අශිෂ්ට සම්පන්න බව තීරණය කරන්නේ අප විසින් අපේ ඔළුගෙඩි තුල ම නිර්මාණය කරගත් සම්මතයන් මත පිහිටා ගෙනය. වෙනකෙකු ගිය මගක නොගොස් ඔහු ගිය මගේ වැරැද්ද නිවැරැද්ද තීරණය කිරීම කොතරම් සාධාරණද?, ශිෂ්ටසම්පන්නද?. ඔවුන් අතින් පාලනය වන අප බොහෝ දෙනෙකුට මේ උභතෝකෝටිකය නිරවුලේ අවබෝධ කරගැනීමට නොහැකිවීම ස්වාභාවිකය. කෙටියෙන් කියතොත් බලුපොරයකදී ශිෂ්ට සම්පන්න බල්ලෙකුවීම කෙතරම් ගොන්කමක්ද? අප උත්සාහ කලයුත්තේ ශිෂ්ට සම්පන්න බල්ලාට, දිනන බල්ලාට හෝ, තමා "ආසා"-කරන බල්ලාට හුරේ දැමීම නොව, පොරයේ ස්වභාවය ද , එක් එක් බල්ලා බලුපොරයේ යෙදෙන සත්‍ය අරමුණු ද තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි.

ලෝහ, විදුරු වැනි දේ හැරුණු කල බහුඅවයවික ගණයට වැටෙන ප්ලාස්ටික් වැනිදේ ප්‍රතිචක්‍රීය කරණය කිරීම තාක්ෂණික වශයෙන් කල හැකිවුවත් ආර්ථික වශයෙන් එතරම් ඵලදායක නැත. ප්‍රතිචක්‍රීය කරන සමාගම් බොහොමයක් තමන් නිපදවන නිෂ්පාදනයට වඩා තමන්ගේ සේවාවට ආණ්ඩුවෙන් ලැබෙන ආධාර (Waste Management Subsidies) මත යැපෙති. දියුණු රටවල් පවා ප්‍රතිචක්‍රීයකරණය කරණය පසෙක තබා විශාල වලක් කපා කුණුගොඩවල් වලලන්නේ මේ කුණුගොඩ පෘතුවි මස්තකයේ තවදුරටත් තබාගැනීමට නාස්තිකරන්නට සිදුවන මුදල් කන්දරාව බේරා ගැනීමටය. බොහෝවිට අලුත් අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කල අමුද්‍රව්‍ය වලට වඩා ලාභදායක අතර ප්‍රමිතියෙන්ද ඉහලය. ප්ලාස්ටික්, වීදුරු, ලෝහ, සහ වෙනත් දේ වෙනවෙනම කවර වලට දමා පාරඅයිනේ හෝ කුණුදමන භාජනයේ හෝ තැබිය හැකිය. එතනින් පාරිභෝගිකයාගේ වගකීම අවසන් වුවත් ප්‍රතිචක්‍රීයකරණය කරන ක්‍රියාදාමය ඇරඹෙන්නේ එතැන් සිටය. මුලින්ම ඒවා එකිනෙක වෙනවෙනම එකතු කරගත යුතුය, තෝරා ගතයුතුය, පිරිසිදු කරගත යුතුය...පළමු පියවර කිහිපයටම කෙතරම් කාලය, ඉන්ධන, මිනිස් ශ්‍රමය, බලශක්තිය ආදී සම්පත් වැයවෙන්නේ දැයි සිතා බලන්න! මෙසේ පිරිසිදු කරගත් දේ අතර ලෝහ වර්ග සිය ගණනකි, වීදුරු වර්ග සියගනනකි, බහුඅවයවික(Polymers) හෙවත් ව්‍යවහාරයේ එන ප්ලාස්ටික් සහ රබර් වර්ග ලක්ෂ ගණනකි මේවායින් බොහෝ කොටසක් ප්‍රතිචක්‍රීය කරණය කිරීම එක්කෝ කොහෙත්ම කල නොහැක, නැතිනම් ලාභදායක නොවේ, නැතිනම්  පරිසරයට හානිදායකය. ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදන වල ප්‍රතිචක්‍රීයකරණය කරන ලකුණ තිබීම පාරිභෝගිකයින් නොමගයවන නරක ම වර්ගයේ විහිළුවකි. කෙසේවෙතත් සමහර බහුඅවයවික සත්‍යවශයෙන් ප්‍රතිචක්‍රීයකරණය කිරීම භාණ්ඩය නිෂ්පාදනය කර විනාඩි කිහිපයකට පසු එම කර්මාන්තශාලාව තුලම සිදුකලත් මුල් ප්‍රමිතියම නැවත ලඟාකරගැනීම අතිශය දුෂ්කරය. බහුඅවයවික පවා බුදුන් වහන්සේ දේශනාකර ඇති පරිද්දෙන්ම නිරන්තර වෙනස්වීම් වලට ලක්වන අතර සදාකාලික ද නොවේ!

මිනිසුන් මළ විට එක්කෝ වලදැමේ, නැතිනම් පුළුස්සා දැමේ. ඒ කර්තව්‍යය විස්තර කිරීම සඳහා චිත්ත සන්තානය නොකැලඹෙනුසුළු අගනා මටසිළුටු වචන සහ යෙදුම් භාවිතා කලද අවසානයේ සිදුවන්නේ වැලලීම හෝ ගිණිලෑමයි. කෙසේවෙතත් ඔවුන් මළ පසු ඔවුන්ගේ ගේ-දොර ඉඩකඩම් යාන-වාහන හෝ භාවිතාකල දේ තවමත් ජීවත්වන උරුමකරුවන් භාවිතකරති. අපි ලාම්පුතෙල් ගෙන එන්නට කඩයට යනවිට හිස් අරක්කු බෝතලයක් ගෙන ගියෙමු. දැවීගිය විදුලි බුබුළු සහ හීනියට කපාගත්, හිස්ටින්, සහ හිස් සාඩින් ටින් වලින් සෑදු කුප්පි ලාම්පු මිලදී ගතිමු. යමක් ඒ ආකාරයටම හෝ වෙනස් ආකාරයකට පරිවර්ථනය කර ප්‍රයෝජනයට ගැනීම ප්‍රතිචක්‍රීයකරණයට වඩා වැදගත් අදහසකි. මන්ද විශාල වශයෙන් ඉන්ධන, ශ්‍රමය, සහ බලශක්තිය ඉතිරිවන බැවිණි. මේ ආකාරයේ කටයුතු අපේ සමාජයට නුහුරු කාරණා නොවේ.

සාමාන්‍යයෙන් සුසානභූමි මිනිස් වාසස්ථාන වලින් එපිට පාළු ස්ථාන වල පිහිටා ඇත්තේ මිනිස් කය පවා ප්‍රාණය නිරුද්ධ වූ විට කිසිවෙකුට ප්‍රයෝජනයට ගත නොහැකි, සවුක්‍යට ඉතා අහිතකර කසළ ගොඩක් වන බැවිනි. ඉතින් එක්කෝ ඒ කසළ පුළුස්සා දැමිය යුතුය, නැතිනම් පෙට්ටියක දමා අගුලු දමා හෝ ඇණ ගසා සතුන්ට හාරා ගොඩගත නොහැකි වනසේ  ගැඹුරු වලක වලදැමිය යුතුය. ටිබෙට් රටේ දී නම් සම්ප්‍රදායික ක්‍රමයකට මළ මිනිසුන්ගේ සිරුරු නැවත නැවත පරිසරයටම භාරදෙති. ඒ අවසාන උපහාරවලින් පසු මළ සිරුර ඈත ජනශුන්‍ය කඳු මුදුණකට ගෙනගොස් කැබලි වලට කපා ගිජුලිහිණියන්ට කන්නට දීමෙනි, අවසානයේ ඉතිරිවන අස්ථි සහ කෙස් වැනිදේ සාමාන්‍යයෙන් වලදමති. මේ විශේෂ ස්ථාන යුරෝපීයයන් විසින් Sky Burials යනුවෙන් හඳුන්වති.

අපේ කුණු වලින් ප්‍රතිචක්‍රීයකරණ කිරීමට හැකියැයි අප සිතන බොහෝ දේ පවා ප්‍රතිචක්‍රීයකරණය කිරීම  හතලිස් ගණන් වල මියගිය කිරිඅම්මාට පණදීම වැනි මිත්‍යාවකි. මන්ද අප "ආසා" කරන බොහෝදේ මේ මිහිමත ප්‍රයෝගික නොවන බැවිණි. මළ කිරිඅම්මා මෙන්ම කුණුත් මුළුමනින්ම වාගේ වලදැමිය යුතුය. එය අප සියවස් ගණනක් තිස්සේ පුරුදු පුහුණු කරගෙන ආ අපේ ඇටකටු වල පවා ගැබ්වුණු තාක්ෂණයයි. කුණු ද මළ මිනිසුන්  ද  මඩ ගොහොරු වලට විසිකරන්නේ අපරාධකරුවන් ය. කිසිවෙකු මඩ ගොහොරු වල භූමිදාන කරනු මා කිසිදාක දැක නැත්තෙමි. තම තමාගේ කුණු (අපද්‍රව්‍ය) නිසි පරිදි බැහැර කිරීමත්(Waste Disposal), අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමත්(Waste Recycling) එකිනෙකට වෙනස්  කරනා ය. ඒ නිසා ස්වකිය වල්ගය පාගා ගැනීම හෝ වැටත් සමග අමුඩ ගසාගැනීමේ තේරුමක් නැත.

No comments:

Post a Comment