“ආයුබෝවන්” හැමෝම එකවිට කිව්වා.
හිටගෙන හිටි අය ඉඳගත්තා. ඉඳගෙන හිටි අයට අමුතුවෙන් ඉඳගන්න වුවමනාවක් වුනේ නෑ.
“හා එදා නවත්තපු තැනින් පටන්ගන්න, ...හා කමලා!” සර් කමලට කිව්වා, කමලා පටන් ගත්තා.
එක්කෝ සරුයි කමලයි නවත්තපු තැන් දැනගෙන හිටියා. නැත්නම් කමලා පටන් ගත්ත තැනින් පටන්ගන්න සරුත් ආස කළා. මේ විගඩම හැමදාම සිද්ද වෙනවා. අතීතය නැවත නැවත සිද්දවෙනවලු නෙ. නවත්තන-පටන්ගන්න තැන් විතරක් නෙවෙයි මෙතන වෙන කිසිම “අලගේඩියක්” ගැන කවුරුවත් “කෝඳුරු අන්ඩක්” තාරං වත් කරදර වුනේ නෑ. සරුත් ඒක දැනගෙන හිටියද මන්දා.
හදිසියේම කාලගුණය වෙනස් වුනා. මෙච්චර වෙලා උණුසුම් වසන්ත කාලයේ සුන්දරම සැණකෙළිය මැද ජීවිතය විඳිමින් සිටි අප අතරින් වියලි සීතල හුළං හමාගියා. ඒ හිතල හුළඟට කලින් කියපු තුන් දෙනාගේ ඇරෙන්න අනෙක් හැමෝගෙම ඇටකටු පවා සීතල වුනා. අපි සයිිබීරියානු ශිෂිරයට මුහුණ දෙමින් උන්නා. කාලයක් තිස්සේ ටිකෙන් ටික මන්දපෝෂණයට ගොදුරු වුන වුන් වාගේ අපේ මළානික මුණු පාණ්ඩු පාටට හැරුනා. අපේ හිත් කාලකන්ණි හැඟීම් වලින් පිරුනා. කටින් වචන පිටකරගත්තේ බොහොම අමාරුවෙන්, හරියට පණ-අදිනවා වාගේ බොහොම පහත් හඬින් . හුස්ම හිරකරවන පුස් තෙත පුස් ගඳක් නහයට දැනුනා, ඊට සමානුපාතික “වහ-රහක්” දිවට දැනුනා. අපි එකිනෙකා මියගොස් හෝ මියයමින් උන්නා.
මේ පීරියඩ් එකේ ජය-පරාජය තීරණය කරන පලවෙනි සාධකය තම තමන්ගේ රංගන හැකියාවයි එනම් නිදි දෙව් දුව සමග ගැඹුරින් කෙරෙන මාර යුද්දය සර්ගෙන් වසන් කිරීමයි. දෙවැන්න සර්ගේ දෑස තමන්ගේ දෑසේ ගැටීම වලක්වාගැනීමේ හැකියාවයි. බැරිවෙලාවත් ගැටීමක් සිදුවුවහොත් එය “අනතුරක් වලක්වාගැනීමට කටයුතු නොකිරීම” යටතේ, අහිංසකයා සැකකාරයෙක් කොට අනිවාර්ය ප්‍රස්න කිරීමකට ගොදුරු කරවනු ඇත. අහවලා ලියපු අහවල් පොත හෝ අහවල් රටේ අගනුවර වැනි විකාර ප්‍රස්නයකට මුලපුරනු ඇත. අවසානයේ අනිවාර්යයෙන් වරදකරු කරනු ඇත. කනට කෙදිරිම, ඇඟිල්ලෙන් ඇනිම වැනි බරපතලම ගනයේ අපරාධ වරදකට කොල්ලන් පංතිය ඉදිරියට කැඳවා “කුපාඩියා” කියා රෙජිස්ටර් කිරීම ඇරෙන්නට, ඔහු කන්කෙටිය ඇඹරවීමට හෝ අපි සාමාන්‍යයෙන් භාවිතාකරන පරුෂ වචනයක් කීමට තරම් කෘර වුයේ නැත. ඔහු කුපාඩිකම් වලට ආසා නොකලා වියයුතුය. ඔහුගේ තීන්දු කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තරම් නරක් වූයේද නැත. අපි නිතර මේ ආකාරයේ “කුපාඩිකම්” කරමින් නිදිමත නැතිකර ගතිමු.
පංතියේ ජීවයක් පවතින බවට සාධක තුනක් තිබුනා. සර් සහ කමලා අතරත්, සර් සහ සරත් අතරත් ඇතිවන කතාබහ මේ බව සනාථ කළා. දැන-උගත් කමඅතින් සරත් සහ කමලා වඩාත් ම සුදුසු වන්නේ කරත්තයක බැඳීමට බව අපි හැමෝම දැනසිටියා. මේ උගත් සමාජයට පෑහෙන්න කවුරුත් කරදර වුනේ නෑ. මේ අතර මියගිය ජනතාව අතර “යම් සෙලවීමක්” සර් දුටුවා. සර් ට බොහොම කේන්ති ගියා.
“රංග, මොකද්ද ඔය මෙසේ පල්ලේ පෙන්නන විජ්ජාව”. රංග නමැති කුලප්පුකාරයා ඩේස් එක පල්ලේ පෙන්නමින් ඉන්න විජ්ජාව ගැන සර්ට වැඩිදුර දැනගන්න ඕනවුනා.
“කරුණාකරලා මෙහෙ එනවා” , සර් ඔහුට කරුණාවෙන් අඬගැහුවා.
රංග “මොකද්ද එකක්” සමග ඔට්ටු වනු දුටු ඔහු “ඕකත් අරගෙන ම එනවා” කියල කිව්වා.
රංග එකත් අරගෙන සර් ගාවට ගියා. එක සාමාන්‍ය ප්‍රමාණයේ යෝගට් කෝප්පයක්. එකේ මුඩිය වසා තිබුනා. මේ වස්තුව ගැන හැමෝම උනන්දුවුනා. කොටින් කියතොත් ගෑනු ළමයි පවා ඉස්සි-ඉස්සි බැලුවා. “C” පංතියට ඉතිහාසය උගන්වමින් සිටි “අළුත්” මිස්. ළමයින් ට “සමෝච්ච රේඛා” අඳින්නට දී මේ විගඩම නරඹමින් උන්නා. මේ අතරේ “පිළිවෙලක්” ඇති ඈ ඉදිරියේ කීයටවත් “කුපාඩි කතා” නොකියන්නට සර් තමන් ගෙම හිත සමග යුද්ද කරමින් උන්නා. ජය භූමියක සිද්ද වෙන්නට යන ”නයි-මුගටි” හටන ගැන දෙයියන්නටවත් වැටහීමක් තිබුනේ නෑ.
රංග කිසි බයක් හැකක් නැතිව යෝගට් කෝප්පේ සර් දිහාවට දික්කලා.
“ඇරලා පෙන්නනවා!” සර් රංගට බලකලා.
රංග ඒක ඇරියා. සර් බලාපොරොත්තු වුනු තරම් “කුපාඩි-යමක්” එකේ තිබුනේ නෑ.
“මොනවද තමුසේ මේ රොඩු කෑලිත් එක්ක කරන්නේ?” සර් ඇහුවා.
රංග සීරුවට රොඩු කෑලි අස්සේ ඇඟිලි දෙකක් ගසා මොනවද හෙව්වා. ඊටපස්සේ තඩි බැටරි කෑල්ලක් තරම් ලොකු කළුපාට පොල් කුරුමිණියෙක් ඇදල අරං සර්ගේ මුණ දිහාවට දික්කලා.
ලෝකයේ භයානකම සත්වයා දැක්ක සර් මහත් භීතියෙන් ගල් ගැහුනා. කෙල්ලන් ලතෝනි දුන්නා. “අළුත්” දඟකාර මිස් අව්‍යඥා සහගතව සිනාසුනා. මේ වනවිට සියළුමළමිනී වලට පණගසා තිබුණු අතර පංතිය දිගු ශිශිරය අවසන් කර කෙලින්ම ග්‍රීෂ්ම කාලයේ දැඩි උණුසුමට හසුවී තිබුනා. සමහරුන්ට දාඩිය දැම්මා. තවත් සමහරු භීතියට මොන මොනවා කරගත්තා දැයි මට කොහෙත්ම දැනගන්න විදිහක් තිබුනේ නෑ.
“විසිකරනවා ඕක” සර් සිංහ නාද කළා.
රංග පංතියෙන් එලියට ගිහින් කෙලවරේ තිබුණු දාස්පෙතියා පඳුරු අස්සේ එක පරෙස්සමට හැංගුවා. ඊටපස්සේ පංතියට ආවා.
“විසිකරාද?”
“ඔව්”
“කොතන්ටද?”
“මල් පාත්තියට”
“හ්ම්”, “නන්දාත් අල්මාරිය ඇතුලට විසිකලානේ” සර් තමන්ටම කියාගත්තා.
“කියනවා බලන්න මාටින් වික්‍රමසිංහ මහත්තය ලියපු පොත් තුනක්!” සර් පහරදීම ඇරඹුවා.
සිංහල පොතේම එල්ලී සිටි ගිරව් කෑගසන්නට පටන්ගත්තා “මඩොල්දූව”, “මගුල්කෑම”, “ගම්පෙරලිය” ආදී බොහෝ දේ පහත් හඬින් කියවන්නට ගත්තා. බොහොම දෙනෙක් “මඩොල්දූව”, “ගම්පෙරලිය”ඇරුණුකොට එතුමා වෙන පොතක් ලියා ඇතිබවවත් දැනසිටියේ නෑ. ගෝතයා හෙවත් “ගොතයක් ඇත්තා” තාලයට කෞ...කෞ... කියමින් උන්නා. කළුවර ගෙදර ගැන ඔහු දැන සිටින බව සර් හිතාගත්තා. එක මෙතනට අදාළ නෑනේ!, සර් උනන්දු වුනේ රංග ගේ රංගනය ගැනයි.
රංග පටන් ගත්තා, “ ලීලා, සීතා, සෝමා, අයිරාංගනී...චිත්‍රා... නෑ...උම්මාද චිත්‍රා”
බර අවි වලින් පහරදීම ඇරඹුනා. සමහර ගෑනු ළමයි ඔහුට “ජරා කොල්ලා” කී අතර කටකාර “කපුටි” ඒවා ඔක්කොම පරණ ගෑනු නම් බවත් “ මේ කොල්ලාට මොකක් වෙලා දැයි” තමන් නොදන්නා බවත් ප්‍රකාශ කළා. මේ අතර සර් ඇඹරුනා. බොහෝ ළමයි තම තමන්ගේ නොදැනුවත්කම් මොනවට විදහා දැක්වුවා.
“නවත්වනවා සද්දේ, ඒ ළමය හරි!” “දැන් ගිහින් වාඩිවෙනවා”, සර් පරාජය බාරගත්තා.
එදා ඔය විදිහට“කුරුමිණියා” සියළු චෝදනා වලින් නිදොස් වී නිදහස් වුනා.
No comments:
Post a Comment