සාමාන්‍ය දැනීම ඍන අගයක් ගන්නේ කෙසේද?

ඒ මගේ පළමු රැකියාවයි. අපේ ආයතනයේ බොහෝ දෙනා නා නා ක්ෂේත්‍රයන්හි නිපුණයෝ වුහ. මා වුර්ථිය උගැන්මට සැරසුණා පමණි. දිනක්‌ අපි කිහිපදෙනෙක් යම් තාක්ෂණික ගැටළුවක් සාකච්චා කරමින් උනිමු. මම අන්අයගෙන් උගැන්මට සැරසී එක් එක් අයට සවන්දෙමින් කරුණු එකිනෙක ගලපන්නට උත්සාහ කලෙමි. අදහස් කොතරම් පරස්පර වීදයත් මිනිත්තු කිහිපයකින් අග-මුල ගැලපීම පසෙක තබා අදාළ තාක්ෂණික වචන ආදිය කුඩා කරදාසියක සටහන් කරගැනීම ඇරඹුවෙමි.
මේ අතර තාක්ෂණික උපදේශකතුමා හදිසියේම කාර්යාලය පුරා බ්‍රමණය වෙමින් එතන මෙතන පරිබ්‍රමණය වෙන්නට පටන්ගෙන තිබුනේ එතුමාගේ පරණ ජංගම දුරකථනය හොයාගන්නට බැරිවය.
මේ අතර සාකච්චාවේ පසුවූ තාක්ෂණ බහුශ්රුතයෝ බොහොම නරක අන්දමින් නනනත්තාරගත වී සිටියෝය. කවුරුත් කිසිදේකට එකඟ නොවුණු අතර ඔවුන් කුලප්පු වූ අස්පයින් මෙන් නසාපූට වලින් දුම් දමමින්ද, දඟලමින්ද, හේෂාරව කරමින්ද තරහින් පසුවූහ. සෛන්ධවයන්  මැද පෝනියෙකු බවට පත්වසිටි මා කිසිවෙකුගේ අවධානයට ලක්නොවීය. කෙසේවෙතත් අපි පැහැදිලිවම තාක්ෂනික පඹ ගාලක පැටලී සිටියෙමු. 
"හොඳයි අපි කන්සල්ටන්ට්ගෙන් අහමු" එක්කෙනෙක් පැන්නේය. සෙස්සන් උදාසීනව හිස වැනූහ. අපි කොහොමටත්  ඕනෑම පිදුරු ගසක එල්ලෙන මට්ටමට පත්වී සිටියෙමු.
අපි අහක සිටි අහිංසක කන්සල්ටන්ට් වල්ගයෙන් ඇදගතිමු. දැන්  කන්සල්ටන්ට්ට ෆෝන් එක හොයන්න වෙන්නේ නැත. අද කාටවත් ගෙදර යන්නට වෙන්නේද නැත. මම සිතුවෙමි.
බොහොම ප්‍රසන්න තලත්තෑනි පුත්ගලයෙකු වූ ඒ මහතා සිනාමුසු මුහුණින් සාකච්චාවට අවතීර්නයවූයේ දෑස් බිත්ති ඔරලෝසුවේ රඳවාගෙනය. වෙලාව හරියටම හවස හතර විය.
"මම දැන් වයසයි නේ, ඇස් පේනව හොරයි, අපි ලොකු ඉලක්කම් තියෙන ඔරලෝසුවක් ගමු නේද?" එතුමා ඉංග්‍රීසි බසින් යෝජනා කළේය.
ඉන්පසු බිත්තියේ පාට ඔරලොසුවේ ඉලක්කම් වල හැඩය ආදිය ගැන අදාලමනොවන, එකිනෙකට නොගැලපෙන මෝඩපහේ අදහස් ගොන්නක් ඇද බෑ එතුමා සැනින් එතැනින් පැනගත්තේය. අපි කිසි තේරුමක් නැතිව තවත් පැයභාගයක්‌ ඒ වගුරේ ගිලුනෙමු. පසුව අවුල්කරගත් මනසින් යුතුව නොසතුටෙන් විසිරගියෙමු.
මම සිද්ධිය මතක තබා ගතිමි.
ටික දිනකට පසුව සුදුසු වෙලාවක් බලා මම තනිවම ඒ තාක්ෂණික ගැටලුව  එතුමාගෙන් ඇසුවෙමි. එතුමා කරමින්සි සිටි සියල්ල පසෙකලා කරදාසි වල අඳිමින් ද අහසේ ලියමින්ද බොහෝ වෙලාවක් ඒ දේ මටපැහැදිලි කර දුන්නේය.
“ඔයා දන්නවද,  The general knowledge of an average person is below zero” ඔහු ඇසිය.
මම  “below zero???  ” යැයි මදක් විශ්මිතව පිළිවදන් දුනිමි.
“ඔයා දන්නවනේ boolean logics, හොඳයි අපි මෙහෙම හිතමු;  1= දන්නවා ,  0=දන්නේ නෑ, එතකොට -1= නොදන්නවා කියලවත් දන්නේ නෑ...එහෙම නේද?” ඔහු විස්තර කළේය.
“ඔයා නොදන්නවා කියල දන්නවා එකනේ ඇවිල්ලා ඇහුවේ” එතුමා කීය. මම ආඩම්බර වීමි.
“මම එදා ට්‍රැෆික් වලට කලින් පැනගත්තා, ගේ ඉස්සරහ ගහේ අඹ පැහිලා, පුදුම රසක් නේ!, කළුවර වැටුනහම මුකුත් පේන්නෙනෑනේ ඒකයි”
“නොදන්න කෙහෙම්මල් ගැන දන්නවා වගේ කතාකරන එක මහා මෝඩ කමක් නේ..., එහෙම අයට මුකුත් කියලදෙන්න බෑ..., මැට්ටෙන් පිරිච්ච කලයක් වතුරෙන් පුරවන්න බෑ නේ...ඒකයි මම  එදා explain කලේ නැත්තේ”
ඔහු එදා අපි ඔරලෝසුවේ රඳවා තබා ගෙදරගොස් අඹ කා ඇත.
අපි කිසිදාක අළුත් ඔරලෝසුවක් නොගතිමු. නැවත ඒ තාක්ෂණික ගැටලුව සාකච්චාවට නොගත්තෙමු. ඒ අඹ වාරයේ කන්සල්ටන්ට් ඕනාවට වඩා අඹ කා අසනීපවිය. කෙසේවෙතත් ඔහු අපිට තරමක් විසාල අඹ මල්ලක් ගෙනත්දුන්නේය. බෙහෙවින් ප්‍රනීත වූ ඒ අඹ කා “අසනීප වුනත් සැපයි!” මම සිතුවෙමි.
එදා “general knowledge” යැයි ඔහු අදහස් කලේ “understanding” හෝ “reasoning” වැනි අදහසක් බව මම පසුව තේරුම් ගතිමි.

උගත්කම යනු “නොදන්නාකම අවබෝධකරගැනීමත්”, ඉගැනීම යනු “දැනගැනීමට දරන වැයමත්” බව අවබෝධකරගතිමි. “නොදන්නා බව වත් නොදැන සිටීම” පුත්ගලයෙකුට අත්වියහැකි නරකම ඉරණම බව ද උගත්තෙමි.

No comments:

Post a Comment