Monday, September 24, 2018

තියුනු-උණු-කරුණු


අහසේ ගුගුරණා මොණරුන් දකින  විට
ඉගිල යන්න හිතෙනව මට උපන්  ගෙට
සතා - සීපාවා - ගහකොළ - මල් දෙවැට
මතකෙට එනව දෙතනගලේ නිල්   පාට

රුක්අත්තනේ පය පාමුල   සිසිළෙන්ද
ගුම්නඳ එතැන සහ සීතල     සුළඟින්ද
දන්නා කියන ලේනුන් සහ     ගිරවුන්ද
මයෙ රත්තරනෙ උඹලට මා මතකයිද?



(2018 සැප්තැම්බර්)

Tuesday, September 11, 2018

මේ මිණි යරපිනි, ගතයුතු කරපිනි!


කන්නෙත් අරව නම් පිණි හිඳගෙන     රහට
බොන්නෙත් හදල නම් අරවා ලා      වෙන්ට
ඉන්නෙත් බඩඋලන් ඇණයක් වී       හැමට
මොකටද ඉපදිලා යරපිනි         ලෝකෙකට


(2018 සැප්තැම්බර්)

Wednesday, September 5, 2018

නිවනට පාර


පළමු කොටස: හද්දා පිටිසර සිට ටවුමෙ මල් කඩය දක්වා

බැහැලා දණහිසක් හිරිකිත වැව්       මඩට
ගිලිලා කරවටක් මඩගඳ බොර           දියට
පිපෙන්නත් කලින් සුරිය               රස්නයට
ගිහිං නෙලනවා කැකුළියෝ       අත්දෙකට
පිපුණා නොපිපුනා නෑ වෙනසක්       උන්ට
පෙනුමට තිබුනොතින් ඇති උන්ගේ රහට



දෙවන කොටස: මල් කඩේ 'මාකටිං'

මහත්තය එන්න - මාත්තෙය එන්න
ගොඩතරේ පිපුණ - මලක් අරගන්න
අලුත් මල් මෙන්න - බොරු නෑනෙ ඔන්න
ඒ නැතත් අන්න - ටවුමෙන් බලන්න

නිල්පාට එව්ව - මානෙල්ය අතන
සුදුපාට මෙව්වා - ඕලු මල් මෙතන

සයිස්එක හැඩය - පාට සහ පුසුඹ
කියල අරගන්න - ඇඹරෙන්නේ ඇයිද?
මෙහෙනැතත් දැන්ම - ගෙනත් හරි දෙන්න
ඕඩරේ ගන්න -  නොම්බරේ දෙන්න

ළපටි ලා මල්ය - මේ ලඟදි කැඩුව
රෝග නැති මෙව්වා - ක්ලීන් ටිං ටිං ය
ඉඹලම බලන්න - අරගෙනම යන්න     

මාත්තයො ඔන්න - කලියෙන්ම යන්න
පරිස්සං වෙන්න -  තිර පැකට් ගන්න

අතගගා ඉන්න - ඔට්ටු නෑ ඔන්න!
ලාබෙටම බෑනෙ - නිවන් දැකගන්න!



(2018 සැප්තැම්බර්)