Wednesday, March 22, 2017

වැදගත්ම, ‘ණන -ළල’..!

අගින් පිණි බිඳ
වැටෙන්නට පෙර
‘ණන’ ලිහා ගත යුතුය
පින්වත...


(2017 මාර්තු)

Saturday, March 18, 2017

ගී ලොවේ sweetest ම gorgeous ය

විසිතුරු ම
අදහස් ය
simple ම
පද වැල් ය

මනලොල් ය
මනකල් ය
amazing
තනු වැල් ය

වචන හා
තනු අතර
sweetest ම
ගැයුමක් ය

simply ඈ
amazing
sweetest ම
gorgeous ය



(2017 මාර්තු)

Wednesday, March 8, 2017

වෙඩිතබනු..!

පණිවිඩය ගෙනඑන්න
ශෝභන දැකුම්කළු සුදු පරවියෙක් නැති තැන
හාමතේ එම පණිවිඩය ගෙන එන
දහඩිය කඳුළු සහ 
මඩ දුහුවිලි මෙන්ම
ලේ පැල්ලම් ද  තැවරුණු 
අශෝභන ගඳගහන පණිවිඩකරුට
නිදහසට කරුණු නොඅසා ම
මියයනු පිණිස
නොවලහා වෙඩි තැබිය යුතුය..!



(2017 මාර්තු)

Saturday, March 4, 2017

භයානක ගොබ්බයෝ



සීතාම්බර සළුවෙන්
       හෙළුව වසති යි සිතා
සීරුවට අඩි තබා
       තේජසින් වැඩමවන
රජුන්ගේ හෙළුව දැක
       මහ හඬින් හූ කියන
කොල්ලාට ගල් ගසන
      භයානක ගොබ්බයෝ..!




(2017 මාර්තු)

වැනසෙනු පිණිස



දියමන්ති මාලිගා යැයි සිතාගෙන
       විදුරු ගෙවල් උරුමකරගෙන...
අනුන්ගේ මැටි අතු පැල් වලට
       ගල් මුල් විසිකරන...
වැනසීමෙන් ම සැනසෙන්න දඟලා
       සැනසීමෙන් ම වැනසෙන...
කුහක මිනිස්සු...



(2017 මාර්තු)

කළු-සුදු වෙනුවට අළු


සාමයේ පණිවිඩය ගෙනෙන
කිරි සුදු පරවියන්ගේ ඇස්
ලේ රතු පාට බව
ඔබ දන්නවද?

අහිංසක පුළුං කැටි
හාවුන්ගේ චූටි ඇස්
රතුම රතු පාට බව
ඔබ දන්නව නෙවෙද?


(2017 මාර්තු)

කතෘ කල වරද


විරහය ම රසය වූ කවි පොතක
වැරදිලා තෝරාපු
අදාළ ම නැති
එකම එක ලස්සන කවිය
එය විය.


(2017 මාර්තු)

Monday, February 27, 2017

වින්දන



දිළියෙන උණු අළු මිරිකා විඳගමි සිසිලස
කරදිය දෝතක් බී විඳගමි එහි       මිහිරස
ගුගුරණ අකුණට කන්දී විඳගමි       ගී රස
එනමුදු විඳගනු බෑ තැවුලින් පෑරෙන  හිස




(2017 පෙබරවාරි)

Tuesday, February 14, 2017

අඳුරු සෙවනැළි


එක පුන් සඳක් මොකටද අඳුරු සෙවනැළි හදන
ඇති තරු දෙකතුනක් එළිය යන්තම්    පිරිමහන
මහ සයුරක් මොටද බොන්න බැරි දිය   තියෙන
මේ පිණි කඳුළු ඇති පවස යන්තමට වත්  සිඳින



(2017 පෙබරවාරි)

Friday, January 20, 2017

අද නැළැවිල්ල

අම්මා නුඹේ වැඩට ගියා
වැඩ කරලා එන්ට ගියා
පැකට් එකක් අරන් තියා
කිරි මුට්ටිය අරන් ගියා



(2013)

Monday, January 16, 2017

ප්ලාස්ටික් බොරු මල්

'උතුමන්ගේ'  පාන්දර දෙසුම රසවත් කරන
    හීනියට වැඩදාපු වයිවර්ණ මල් වැල් ය...
ගිණි විදින - ගිණි බිඳින 'තුමන්ගේ' කතාවේ
    හිදැස් තුල හිරකරපු තඩිම - තඩි මල් වැල් ය...

පත්තරේ ලොකු අකුරු - පොඩි අකුරු අතරතුර
    සීරුවට අඳින ලද සියුම් සොඳ මල් වැල් ය...
හංදියේ තේ කඩේ හීං මාමගේ කටේ
    දත් අතර වැවීගිය සරු සාර මල් වැල් ය...

පංසලේ තාප්පේ - බස්එකේ - හංදියේ
    කිටි - කිටියේ  අලවාපු දිග - පළල මල් වැල් ය...
ගුරුතුමා ලෑල්ලේ මතක හැටියට ලියපු
    චේදයේ තැනින් තැන අමුනාපු මල් වැල් ය...

අළුත් පාඩම් පොතේ දෙවන පේලියේ ඉඳල
    බයනැතිව ගොතා ඇති ලොකු - කුඩා මල් වැල් ය...
ජීවිතේ පුරාවට අප වටා එතීයන
    අළුපාට - මල් - පිරුණු - ප්ලාස්ටික් - බොරු - වැල් ය..!




(2017 ජනවාරි)

Thursday, January 12, 2017

කියනු කෙතරම්ද

උකුළු මුකුලින්ද
තෙපල තෙපුලෙන්ද
රැඳුනු මකරන්ද
මුවග අමබින්ද
අනඟ රැඟුමින්ද
ළමැද උණුසුම්ද
පැසුණු අමිරෙන්ද
නිතොර ගිලෙමින්ද
සැපත මම වින්ද
කියනු කෙතරම්ද



(2010 ට පෙර)

සරාසඳ

සඳ
සදිසි
මා සඳ සරා...

සත්
සියක්
සිල් සිඳ සදා...

සිප සැතපි
සිත සියපතක් සේ 
සිළ සරාගී සල සලා...



(2010 ට පෙර)

දෙව්දූ

මන   බැන්දූ
රුව  කැන්දූ
හස    රැන්දූ
ඔබ    ලන්දූ

රස     වින්දූ
අම     බින්දූ
සුව   කැන්දූ
ඔබ    දෙව්දූ



(2010 ට පෙර)

එයාට හරියට වැඩ ඇති

මගේම සුදු මහත්තයා
දැන් හරියට කෙට්ටුවෙලා
ඉස්සරනම් බෝලෙ වගේ
එයාට හරියට වැඩ ඇති

ගිය සුමානේ ගෙදරට නම්
ඇවිත් ගිහින් තිබුණා එයා
එත් ඉතින් අපේ ගෙදර 
ආවේ නෑනේ සෙනසුරාදා

එයා ආපු ගිය සුමානේ
තිබුණා මගේ උපන් දිනේ
එයාට අමතක වුනානේ
එයාට හරියට වැඩ ඇති

මගේ අතින් මම හදාපු
තල මුන්ගුලි කළු අග්ගල
තියා තිබිල පිලිණි වුණා
මට හරියට දුක හිතුනා

අපේ ගමේ ඉස්කෝලේ
තියු විභාග හරි අමාරු
වගෙ නෙවෙයි ලු 'ඉංජිනේරු'
'ඉංගිරිස්' ලු හරි අමාරු

එයා එහෙට නොගියානම්
නෑ එයාට හිතේ දුකක්
කරදර නැත්නම් සුදූ
මගෙ හිතටත් සැනසීමක්

ඉංජිනේරු ලොකුතනතුරු
නැතුවට සුදු මහත්තයට
මගේ හිතේ ලෙන්ගතුකම
නෑ අඩුවක් කිසි දවසක

අවුරුදු දෙකකට පස්සෙත්
       මා බලන්න නො ආවාට
අතේ ඇඟිලි ගානටවත්
       මට ලියුමක් නො එව්වාට
මට හොඳහැටි විස්වාසයි
       මගේම සුදු මහත්තයා

මගේ සුදූ කවදාහරි
මා බලන්න එනවා නැතෑ
එදාට මා අරන් යාවි
මාල හතක් පලන්දාළ

අහල පහල  උන් එදාට 
කතා ගොතයි මෙන්න මෙහෙම
" බලපන් අර නැට්ටිච්චී "
" 'ඉංජ' අල්ල ගත්ත හැටී "


(2010 ට පෙර)

මිහිර

මම දැක්කා පොද වැස්සේ
ඔබ තෙමෙනවා...
හිටියානම් ඔබේ ලඟින් තෙමෙන්නේ ඔබ නොවේ මමයි       
කවදාවත් ඒ වැස්සේ
ඔබ තෙමෙන්නේ නෑ...

සුලැඟිල්ලක එල්ලීගෙන
පොද වැස්සේ - සැඩ සුළගේ
බොර වතුරේ - මද අඳුරේ
ඔබ අද පිය නඟනා මග
ඔබට ඔයතරම් මිහිරිද...?

ඔය වැටෙන්නෙ වැස්ස නෙවෙයි
මගේ කොපුල් තෙමුණු කඳුළු...
ඔය හමන්නෙ සුළඟ නෙවෙයි
මගේ සුසුම් තරඟ නැගුණු...


(2010 ට පෙර)

ආදරෙයි හැමදාමත්

ඔබ සුවඳ අරගෙන එන්න 
මා ලඟට තව සැරයක්
නිතැතින්ම මට සිහිවෙන්න
ඔබ හදෙහි ඇඳි මල් දම්...

නව පැතුම් අරගෙන එන්න
මගේ ලොවට තව සැරයක්
මගේ හදෙහි යලි සුපිපෙන්න
සුදු සමන් විතරක්...

මගේ ලොවම ඔබ අරගන්න
තවත් එක සැරයක්
තොල් අගින් යලි මිමිනෙන්න
ආදරෙයි හැමදාමත්...


(2010 ට පෙර)

තව මොහොතක් ඉඩ තියන්න

මගේ සිහිනය
තව මොහොතක් 
මට දකින්න
ඉඩ තියන්න...

ඔබේ හදින්
ගලා හැලෙන
කැළුම් තරම්
මට මිහිරැති

මගේ දුකින්
මට තැවෙන්න
මට මොහොතක් 
ඉඩ තියන්න...

සියුම් හඬින්
ඉකි බිඳින්න 
තව මොහොතක්
ඉඩ තියන්න...



(2010 ට පෙර)

සෞම්‍යවන්තියේ


සිහිල් සීතලේ සිහිනෙන්
පාවෙලා ඇවිත් මාවෙත
සිත් සලා වෙළා සැනෙකින්
සිනා සඳ කැනින් නහවනු
නුඹේ වත සදිසි සඳ දිසි
මේ නිශාන්තයේ - මගේ සෞම්‍යවන්තියේ

වලාකුළු කඩා ගුලිකොට 
මදහසින් මදක් මුදු කොට
සෙනේ අම බිඳිත් මුසුකොට
මට පෙවූ සොඳුරු දුරු යුග
මතකයෙන් මගේ නෙතු අග
පැහැවෙලා සැඳෑ අහසක

මතු සසර සරා සත් භව
සමු නොදී අපේ පැතුමට
එක් වෙමූ සොඳුරු දවසක
ණය ගෙවා දැමූ සසරක


(2010 ට පෙර)

රසය

මහද වීණාවේ සියුම් තත්
එකින් එක බිඳ
ඔබම ගෙතු ඒ මිහිරි තණුවේ
රිද්මයයි ඔබම රස වින්දේ...

මහද වීණාවේ නොදුටු රුව
මට හොරෙන් විඳ
ඔබම පද බැඳී ගැඹුරු පද දෙන
අර්ථයයි  ඔබම රද වින්දේ...

මහද වීණාවේ හැඟුම් තත්
මුදුව පිරිමැද
ඔබම ගැයූ ඒ මිහිරි ගීයේ
ජීවයයි ඔබම රස වින්දේ...


(2010 ට පෙර)

Wednesday, January 11, 2017

අරුම

කාලයක් අපිට පෙම්කල අපිම
අපේ පෙම්වතුන් - පෙම්කතා ගැන 
අපි අපිම,
මුමුණන අරුම...


(2010)

විරහය

නුහුරු සිතක් මගෙ ලඟට ඇවිල්ලා
සුපුරුදු අයුරින් කොඳුරනවා
ඔබ ආදරෙයි ලු...
ඔබ මගේ මයි ලු...

මගෙ හිතත් ඔබේ ලඟට ගිහිල්ලා
නුපුරුදු අයුරින් කොඳුරනවා
මම ආදරෙයි ලු...
මම ඔබේ මයි ලු...

ඔබේ හිතට ඔබ කියාදෙන්න දැන්
මොහොතක්වත් පිටවෙන්න මගෙන් කියලා
මගේ හිතට මම කොහොම කියන්නද
මොහොතක්වත් පිටවෙන්න ඔබෙන් කියලා

හමුවුන දවසක අප ඇස් අපිටම
ඔබේ සසල ඇස් කොහොම බලන්නද
බිම බලාන යන්නම් සුපුරුදු විදිහට
අහිතක් නම් හිතන්න එපා ...

(2010)

සංක්‍රාන්තිය

තරුවක් වෙන්න තිබුනානම්
වරුවක් ඉන්න තිබුණා ඔබ ළඟ...
 
සුළඟක් වෙන්න තිබුනානම්
දැවටෙන්න තිබුණා සියොළඟ...

හමුනොවී සිටියානම් දිනයක
නොබඳින්න තිබුණා සෙනෙහස...

නොදැන සිටියානම් මගෙ බව
සැතපෙන්න තිබුණා සිහිනෙක...


(2010)

නෙතු

ඔබ           සතු
නිල්       නෙතු
මින්          මතු
මං            සතු


(2010)

අපි

ඉවසුවා නම්             මොහොතක්
පියාගෙන යුග                    නෙත්
කොයි කවර දේ             නැතිමුත්
අපි අපේමයි                      අදටත්


(2010)

පෙම්පෙරළිය

එපා ඔයතරම් බඳින්න                     ආලකමන්දා                   
ඒ නගරේ රජවෙන්නට පින් නැති              හන්දා
දුප්පත් මෙගෙ ලඟට එන්න ඇති දුක්          වින්දා
අහස පොළොව ගැටගහන්න බැහැ නෙව  නන්දා

ආදරණීය පියල්.



(2012)

සොඳුරු ඉඳුවර

තෙපුල් මී බිඳ බිඳ
සුසුම් මුදු සුවඳ
නිබඳ විඳින සඳ
මඳ මඳ...

අඳුර දුරැර දිවි දොර
දුළ සරා සඳ ලෙද
හද ඇඳෙන 
ඉඳුවරයි  නුඹ...පියබඳ

විඳිමි සුවඳ කඳ
සිතැඳි නිබඳ
නොබිඳ හද මැදුර
වැඳ...


(2006)

සිහිවටනය

නැණ නුවණින් පන්නරය ලබා
පහස ලබා ජීවිතයෙන්...

අතැර යන්න දවස ළගයි
සිව් වසරක වසන්තයෙන්...

ජීවිතයෙම හිත හදාගන්න
ළග තියාගන්න පරිස්සමෙන්...

මා ගෙනයන සිහිවටනය
ඔබයි මගේ අතීතයෙන්...


(2007)

උණුසුම

හදවත පුරා ලතැවුල් ගුලි         ගැසුනාම
ඉදිමුණු දෑස් උණු කදුලින්          තෙමුනාම
තනිකම පිරී ඉතිරී ඉකි                ගැසුනාම
මට සිහිවෙනවා ඔය උණුසුම        හැමදාම



(2011)

මෙඝදූතිය

බිඳුණු බැඳුම් වැලක එතී
මිළින හැඟුම් රැල් බිඳෙතී ...
වලාකුළක තතු ලියමී
සුසුම් රොදක පා කරමී ...


(2011)

පැතුම

රුදුරු මහ ගන     කැලෑවේ
නුදුරු මහ විල්       තලාවේ
කොඳුරා කොඳුරා   නුරාවේ
සොඳුරු වන මල්   හිනාවේ

...

මලින් ගස් බර      උනාවේ
රොනින් බිඟු මත් උනාවේ
සුවඳ විසිරී             ගියාවේ
මල් ඔහේ         පරවුනාවේ

(2011)

තනිකම

පුන්සද අමාවක අහසක දුටු         සේම
මට දැනුනාය  පෙර දිනයක      දුටුවාම
අමතක වෙන්නේ නෑ කී ලිව් පද   තාම
විදගනු කෝම තනිකම තනියෙන් මාම

(2011)

සරසවි වසන්තය


ගිම් කලත් ගෙවී ගිහින් -          වසන්තය ඇවිත්
තුරුගොමුද සිනා සෙතේ -       ලා පලා ගෙනත්
සුරඟනන් හිස පළන් -         මල් කිනිත් රුවැත්
නේක වර්ණ මල් වෙසෙස් - සුරලොවින් ඇවිත්

පිනි බිඳිත් වැටී වැටී - ඇගේ ගෙල මතත්
වෙසස් රූ රටා වැටී -   මුතු පටක් තනත්
රෝස පාට මල් වැසී -     නිරතුරා වසිත්
මල් වැටී මල් වැටී -          පාවඩ තනත්

මහවැලි නදී -            රිදී සේලයත් සදත්
දෑවුරූ මල් සැදී -          නේක වැඩ දමත්
නිමා නෑ රුව වනා -      මනාළිය රුවැත්
ඉසුඹුලමි මඳක් ඉතින් - වනමි යලි යලිත්

(2011)

අයිතිය

හිරු සඳුට අයිති නැතිකොට 
සඳ නුබේ වුනේ කෙලෙසද?

බිඟුට සුවඳ හිමි නැතිකොට
මල් සුවඳ හිමිද සුළඟට?


මා මටම අයිති  නැතිකොට
මා නුඹේ වුනේ කෙලෙසද?

(2012)

රජ

අපි සනසන අපේ කවිය
අපි වනසන අපේ අ-විය

ජ  රා
ර  ජා

(2012)

Sunday, January 8, 2017

පෑයීම



වැස්ස 'පායා' ඇත
අව්ව   'පායා' ඇත

පාඩම


අතීතය පාඩම් පොතකි...

පේලි අතර ද අරුත් හිරවුන...

සෙවිල්ල

නොමළ මිනිසුන් පය ගසන හැම තැනම මළ මිනිසුන් ය...
මේ අතර...
තැන තැන පය ගසා නොමළ මිනිසුන් සොයන මළ මිනිසුන් ය...

තාත්තා

මදි හරියට හිස් බෝතල් ඔක්කොමටික    ගන්න
රුපියල් සීයයි තියෙන්නේ ගල් කාලක්    දෙන්න
අම්ම නැතුව අඬා වැටෙන පොඩි එවුන්ට දෙන්න
සැර නැති හරියකින් බලල වඩේ දෙකක්  දෙන්න

හැමතැනම ඩෝනට් ය


රන්වන් පාට ඩෝනට් ය
රෝස පැහැ ස්ට්‍රෝබෙරි ඩෝනට් ය
අතරින් පතර චොක්ලට් දැමූ අඳුරු පැහැ ඩෝනට් ය
ඇයි... දේදුනු කුඩු දමා වැඩ දැමූ විසිතුරු ඩෝනට්...අතිශයින් උන්මාදනීයයි!
විවිධාකාර රසයෙන්, හැඩයෙන්, පාටින් සහ ප්‍රමාණවලින්
මිලත් සාධාරණයි, පරතරය යාන්තම් තුනී විදුරුවකුයි
ඒවුනත්...කෙහෙම්මල් කෑවාම,.. හැමෝටම හැදෙනවනේ කැක්කුමක්***
මට නැතත්...

-------------------------------------------------------------------

*** අත්තම්මාගේ අවවාදය:
කෑවොතින් කඩචෝරු ආයෙමත්...!
පණුවො කයි උඹේ ඉතුරු දත් දෙකත්...!!
වරෙන්කෝ කැක්කුමයි කියාගෙන ආයිමත්...!!!

නිදහස

කෙනෙක්
දැන හෝ නොදැන
හලාහල විෂ
අමුර්ථය යැයි සිතා
එක හුස්මට
කුසලානයෙන් පානය කරනු ඇත
සවුදිය ද පුරනු ඇත
ඔහු කැමති හැටියක්..!
මක්කරන්නද...
ඒකට වෙන කවුරුවත්..?