'උතුමන්ගේ' පාන්දර දෙසුම රසවත් කරන
හීනියට වැඩදාපු වයිවර්ණ මල් වැල් ය...
ගිණි විදින - ගිණි බිඳින 'තුමන්ගේ' කතාවේ
හිදැස්
තුල හිරකරපු තඩිම - තඩි මල් වැල් ය...
පත්තරේ ලොකු අකුරු - පොඩි අකුරු අතරතුර
සීරුවට
අඳින ලද සියුම් සොඳ මල් වැල් ය...
හංදියේ තේ කඩේ හීං මාමගේ කටේ
දත්
අතර වැවීගිය සරු සාර මල් වැල් ය...
පංසලේ තාප්පේ - බස්එකේ - හංදියේ
කිටි - කිටියේ
අලවාපු දිග - පළල මල් වැල් ය...
ගුරුතුමා ලෑල්ලේ මතක හැටියට ලියපු
චේදයේ
තැනින් තැන අමුනාපු මල් වැල් ය...
අළුත් පාඩම් පොතේ දෙවන පේලියේ ඉඳල
බයනැතිව
ගොතා ඇති ලොකු - කුඩා මල් වැල් ය...
ජීවිතේ පුරාවට අප වටා එතීයන
අළුපාට - මල් - පිරුණු - ප්ලාස්ටික් - බොරු - වැල් ය..!
(2017 ජනවාරි)

No comments:
Post a Comment