Thursday, January 12, 2017

එයාට හරියට වැඩ ඇති

මගේම සුදු මහත්තයා
දැන් හරියට කෙට්ටුවෙලා
ඉස්සරනම් බෝලෙ වගේ
එයාට හරියට වැඩ ඇති

ගිය සුමානේ ගෙදරට නම්
ඇවිත් ගිහින් තිබුණා එයා
එත් ඉතින් අපේ ගෙදර 
ආවේ නෑනේ සෙනසුරාදා

එයා ආපු ගිය සුමානේ
තිබුණා මගේ උපන් දිනේ
එයාට අමතක වුනානේ
එයාට හරියට වැඩ ඇති

මගේ අතින් මම හදාපු
තල මුන්ගුලි කළු අග්ගල
තියා තිබිල පිලිණි වුණා
මට හරියට දුක හිතුනා

අපේ ගමේ ඉස්කෝලේ
තියු විභාග හරි අමාරු
වගෙ නෙවෙයි ලු 'ඉංජිනේරු'
'ඉංගිරිස්' ලු හරි අමාරු

එයා එහෙට නොගියානම්
නෑ එයාට හිතේ දුකක්
කරදර නැත්නම් සුදූ
මගෙ හිතටත් සැනසීමක්

ඉංජිනේරු ලොකුතනතුරු
නැතුවට සුදු මහත්තයට
මගේ හිතේ ලෙන්ගතුකම
නෑ අඩුවක් කිසි දවසක

අවුරුදු දෙකකට පස්සෙත්
       මා බලන්න නො ආවාට
අතේ ඇඟිලි ගානටවත්
       මට ලියුමක් නො එව්වාට
මට හොඳහැටි විස්වාසයි
       මගේම සුදු මහත්තයා

මගේ සුදූ කවදාහරි
මා බලන්න එනවා නැතෑ
එදාට මා අරන් යාවි
මාල හතක් පලන්දාළ

අහල පහල  උන් එදාට 
කතා ගොතයි මෙන්න මෙහෙම
" බලපන් අර නැට්ටිච්චී "
" 'ඉංජ' අල්ල ගත්ත හැටී "


(2010 ට පෙර)

No comments:

Post a Comment