Monday, December 17, 2018

හුටංපාල ජාතකය


බැරි-බර උස්සන් යෑම
ඕනැ ගහක බඩ ගෑම
කුලී වැඩත් කරදීම
හුටාගෙ රස්සාවක්...

බත්පතකට කැඹිරීම
දවල්ට ගංජ ගැසීම
අගු-පිල් වල බුදියෑම
හුටාගෙ චරියාවක්...

අරක්කු කසිප්පු සේම
බුලත් විටක් හෙම කෑම
සිගරට් සුරුට්ටු බීම
හුටාට හරි අරහං...

            හුටා මෙහෙම දැහැමින් සෙමෙන් කාලය ගතකලා. ඔන්න එක රෑක හුටා තමන්ගේ හිඟන මිතුරු මිතුරියන් එක්ක පරණ නගරසභා ගොඩනැගිල්ලෙ ඉස්තොප්පුවේ නිදාගත්තා. පහුවදා උදේ අවදිවුනේ කාකි ඇඳුම් ඇඳගත්තු යාළු මහත්තෙක්ගේ පා පහරකින්. කවුදෝ එදා රෑ එතැන නිදාගත්ත කෙනෙක්ව මරාදාල ලු. මහ දවල් වෙනකං ඉවක් බවක් නැතිව මළකුණක් ළඟ නිදාගත්ත හින්ද හුටාව මිනීමැරීමට වැරදිකරුම කරල බන්ධනාගාර ගතකලා.  

කාකි බල්ලො ඉවලෑම
මිනිහෙක් මැරුවැයි කීම
බොරු නඩුවක පැටලීම
පරණ පවක්...

            හුටා පත්වෙලා තිබුණු ඉරණම පස්සෙ කාලෙදි කාකි මහත්තුරුන්ට තේරුම් ගියත්, මේකට සම්බන්ධ  කවුරුවත් හුටා ගැන තැකීමක් කළේ නෑ.  පස්සෙ කාලෙකදි දරුණු ලෙස රෝගාතුර වුනු හුටා  හරියාකාර ප්‍රතිකාරයක් නැතිව රෝගය උත්සන්න වීමෙන් සිරමැදිරියක් තුලම මියගියා.

සක්කිළි* වී ඉපදීම
උපතින් මොඩය වීම
හව්හරණක් නැති වීම
දරුණු දුකක්...


*සක්කිළි = Chakkiliyar, a groups of historically disadvantaged people in/from India.



(2018 දෙසැම්බර්)



No comments:

Post a Comment