අදනං මුළාදෑනිය මට හමුවෙච්චී
මං ගිය කාරණේ ටක්කෙට ගොණුවෙච්චී
අස්සන මොණර-කොලයක් මට මිළවෙච්චී
අවුරුදු දෙක-තුනක දුක අහවරවෙච්චී
පෙර පිං මිටක් දුප්පත් මට කැරකිච්චී
සංතෝසෙටම කලබලයක් නැතිවෙච්චී
මටහමුවුනත් කරු-මස්සින වෙරිවේච්චී
ගත්තේ උළුඳු වඩ උඹලට උණුවෙච්චී
දිව්වේ නැතත් තිව්වේ නෑ අඩි පුංචී
ඒ කොයිවෙතත් බස්එක නං වැරදිච්චී
අන්තිම එකත් අද කරුමෙට නැතිවෙච්චී
ඊයෙත් තිබුනෙ නෑ කියලයි ආරංචී
මොකටද දෙන්නෙ තුට්ටුව මගෙ අතවෙච්චී
එහෙමයි හිතල තනියම පාරටවෙච්චී
බස්සෙක් දෙකෙක් අඬ-අඬ පස්සෙන්වෙච්චී
අඩමානයට හිත ඩිංගක් බයවෙච්චී
වෙනදට පායනා හඳ අද ගෙටවෙච්චී
තරුකැට වෑහෙනා අහසත් බෙරිවෙච්චී
මෝසං වැස්ස අද හරහට පළිවෙච්චී
හුළඟත් එක්ක වැස්සට මා කොටුවෙච්චී
තෙමුනොත් කියල කරදහි ටික වේලිච්චී
මං නැවතුනා කඩයක අල්ලක් පුංචී
බඩගින්දරට ඇවිලුන බඩවැල් පිච්චී
වියදම්කෙරුවෙ නෑ මගෙ රුපියල් පිච්චී
වැස්ස තුරල් වෙනකොට රෑ මැදවෙච්චී
හඳ අද නැතත් තරු වියමන පෑදිච්චී
කණමැදිරියන් ලන්තෑරුම් එල්ලිච්චී
කරනං ගැහුව අකුළක කරුවලවෙච්චී
උඹලා රෑන මගෙ මතකෙට ගොඩවෙච්චී
පැටවුන් මැද හංස-කිකිළිය උඹ වෙච්චී
මට උණුසුම-සිසිල-සැනසුම
පෑදිච්චී
අපිවම රකින අම්මා උඹ බුදුවෙච්චී
මතකෙට ආව රතු-මාමව නැතිවෙච්චී
හෙවනැල්ලක් වගෙත් වැටෙනවා තේරිච්චී
ඩස්-ඩස් ගාල වැදුන පපුවට හෙණ පුංචී
පණයයි!, කියල හිතුනෙ විදියට බයවෙච්චී
පින්නට අහුවෙලා පීනස වැඩිවෙච්චී
අප්පච්චියේ ඇවිදලා මට හතිවෙච්චී
ගේ පැල්කොටේ දුටුවම එළියක් වෙච්චී
දෙව්ලොව සැපත මට ලැබුණා වගෙවෙච්චී
පෙරමඟ බලා උඹේ ඇස්දෙක රතුවෙච්චී
නොක්කඩුවෙලා වගෙ දුටුවම සැරවෙච්චී
කොයිහැටි වෙතත් මේ හැටියට වදවෙච්චී
සාගරෙ වාගෙ උඹ මගෙ සුදු-අප්පච්චී
(2018 ඔක්තෝබර්)